Last Update  :  2025-07-16 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මේ පීඩනය ඕනෑවට වඩා වැඩියි
තුන්වැනි විස්සයි-20 තරගය

මේ පීඩනය ඕනෑවට වඩා වැඩියි

editorial - 2025 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී කුමක් සිදුවූවත්, සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාව එසේ නොවේ. සීමිත ඕවර ක්‍රීඩාවේදී පෙරළියක් කිරීමට එක සිදුවීමක් හොඳටම ප්‍රමාණවත්ය. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති එක්දින තරගාවලියේදී මෙන්ම විස්සයි-20 තරගාවලියේදීත් පෙනෙන්නට ඇත්තේ එයයි. 

ටෙස්ට් තරගාවලියේදී මෙන්ම එක්දින තරගාවලියේදීත් ශ්‍රී ලංකාව හා සමවීමට බංග්ලාදේශය දෙවතාවක්ම සමත් වූ නමුත් ඒ දෙවතාවේදීම ඉතිරි වූ තරගයේදී ඔව්හු පරාජය වූහ. විස්සයි-20 තරගාවලියේදීත් ඒකම කරන බව නායක චරිත් අසලංක කීවත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (16 වැනිදා) පැවැත්වෙන තුන්වැනි විස්සයි-20 තරගයට බංග්ලාදේශය පිවිසෙන්නේ තරගාවලිය ජයගැනීමේ අටියෙනි. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරිය සිටින්නේ තරමක් කෝපාවිශ්ඨ වූ ලීලාවෙනි. එළිපිට නොපෙන්වා සිටින නමුත් සනත් කෝපයට පත්ව සිටීම කිසිසේත්ම ප්‍රතිවාදීන්ට නම් සුබ දසුනක් නොවේ. 

“මේ විදිහට හැමදාම පීඩනයට ලක්වෙන්න නම් මම කැමති නෑ... මේක ඕනෑවට වඩා වැඩියි....”

“මම විතරක් නෙමේ.... මේ විදිහට පීඩනයට ලක්වෙන්න කවුරුවත් කැමති නෑ... කොහොම වුණත් ඒක අභියෝගයක්.. ක්‍රිකට් ක්‍රීඩාවේ කොටසක්” යයි සනත් ජයසූරිය අද (15 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී කියා සිටියේය. 

පීඩනය යනු සනත් ජයසූරිය පණගැන්වීමට ඇති දිව ඔසුවක් බඳුය. එහි තරම හෙට දිනයේදී බලාගත හැකිවනු ඇත. 

ටෙස්ට් තරගාවලිය යන්තමින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියේ ජය තහවුරු කරගත්තේත් තුන්වැනි සහ අවසන් තරගයේදීය. එහෙත් සනත් ජයසූරිය පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලී සමූහයම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අපේක්‍ෂා කළේ එය නොවේ.
ජයසූරිය ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් තරගාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බලාපොරොත්තු වූයේ බංග්ලාදේශය තලා පෙළා දමන ජයග්‍රහණ වැලකි. මේ වන විට ප්‍රබලතම ක්‍රීඩකයන් තිදෙනකු අහිමි වීම නිසා බංග්ලාදේශය ‘සංක්‍රාන්ති සමයකට’ මුහුණ දී සිටීම ඊට ප්‍රධානතම හේතුවයි. 

“දඹුල්ලේදී පැවැති තරගයේදී අපි සමහර දේවල් වරද්දා ගත්තා. ඒත් මේ වතාවේදී අපි ඒ දේවල් හරියට කරන්න ඕනා... මොකද ක්‍රීඩකයන් දන්නවා ඒ ගොල්ලන් වරද්දා ගත්තු තැන් මොනවද කියලා” 

“හෙට මේ තරගය බලන්න මහ සෙනඟක් ඒවි. මේ මිනිස්සු අපි කෙරේ විශ්වාසය තියලයි එන්නේ. ඒක තමයි ප්‍රධානම කාරණාව...” යයි කී සනත් ජයසූරිය මහතා.. 

“හැමෝම දන්නවා මොනවද කරන්න ඕනෙ කියලා... ඒ හින්දා ඒ ගොල්ලන් හෙට තියන පීඩනය හසුරුවා ගනීවි කියලා මා හිතනවා” යයි ජයසූරිය මහතා සිය ක්‍රීඩකයන් කෙරේ විශ්වාසය පළකරමින් පැවසීය. 

ශ්‍රී ලංකා කණ්ඩායම දඹුල්ලේදී කළ පිතිහරඹය පිළිබඳව කෙටියෙන් හැඳින්විය හැක්කේ “කාර්යාලයේ නපුරු දවසක්” ලෙසිනි. එදා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කළ කළ සියල්ලම වැරදී ගියේය. එසේ වුවත් ශ්‍රී ලංකාව වැනි වෘත්තීමය මට්ටමේ කණ්ඩායමකට හැමදාමත් සියල්ල වැරදිය නොහැකිය. 
බංග්ලාදේශය මේ වසරේදී විස්සයි-20 තරග 8 කට සහභාගි වූ අතර දඹුල්ලේදී පැවැති තරගයත් සමගින් තරග 8 කින් ජයගෙන ඇත්තේ දෙකකි. 

“වඩා වැදගත් වෙන්නේ පරාජය නෙමෙයි, පරාජයෙන් පස්සේ නැඟිටින්නේ කොහොමද කියන එකයි. අපි එක්දින තරගාවලියෙදිත් ඒක කළා. ඉතිං මෙතනදිත් කරනවා... ඒ වෙනුවෙන් අපි කරන්න පුළුවන් හැම දේම කරනවා”යයි දඹුල්ලේ තරගයෙන් පසුව චරිත් අසලංක පැවසීය. 

සනත් ජයසූරිය මෙන්ම චරිත් අසලංක ද පහසුවෙන් යමක් අතහරින තාලේ අය නොවේ. 


අදහස් (0)

මේ පීඩනය ඕනෑවට වඩා වැඩියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.