Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බාබර් අසාම්ගේ තනි අතින් පාකිස්තානයට මුක්කුවක්
ගාල්ල ටෙස්ට් තරගය

බාබර් අසාම්ගේ තනි අතින් පාකිස්තානයට මුක්කුවක්

editorial - 2022 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට)

පාකිස්තානු පිලේ කඩාවැටීම හමුවේ නොසැලී, තනි අතින් සිය ඉනිමට සවිමත් මුක්කුවක් ගැසූ බාබර් අසාම් ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (17 වැනිදා) ශ්‍රී ලංකා මුල් ඉනිමේ වාසි ලකුණු 04 ක් දක්වා අඩුකළේය. සවස පැවැති මන්දාලෝකය හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 36 ක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පාකිස්තානයට වඩා ලකුණු 40 ක් ඉදිරියට පැමිණියහ.

ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු (නොදැවී 17) සහ මුරකරු පිතිකරු කසුන් රාජිත (නොදැවී 03) ඒ වන විට පිටියේ රැඳී සිටියහ.

සිය හත්වැනි ටෙස්ට් ශතකය ලබාගත් බාබර් අසාම්, කඩුලු 7 ට 85 සිට ලකුණු 218 ක් දක්වා පාකිස්තානු කණ්ඩායම කැඳවාගෙන ගියේය. 7 වැනි කඩුල්ල ලකුණු 85 දී බිඳ වැටෙන විට නායක බාබර් අසාම් ලබා සිටියේ ලකුණු 28 කි. එහෙත් එතැන් සිට දිගහැරුණේ බාබර් අසාම්ගේ පිතිහරඹයයි. පැය දෙකකට වැඩි කාලයක් පිටියේ රැඳුණු අවසන් පිතිකරුවා වූ නසීම් ෂා පන්දු 52 කට මුහුණ දුන් නමුත් ලබාගත්තේ ලකුණු 05 පමණි. අවසන් කඩුලු තුනට එක්වූ ලකුණු 133 න් බාබර් අසාම් ලකුණු 91 කට හිමිකම් කීවේය.

බාබර් අසාම් ලකුණු 28 ක් ලබා සිටියදී කඩුල්ල ආවරණය කළේ යයි ශ්‍රී ලංකා කණ්ඩයම කළ ඉල්ලීමක් විනිසුරු මාරියස් එරැස්මස් මහතා විසින් නිෂ්ප්‍රභා කරන ලදි. එම තීන්දුව එසැණින්ම තුන්වැනි විනිසුරුවරයා වෙත යොමු කරන ලදින් පෙනී ගියේ පන්දුව කඩුල්ලේ වදින නමුත්, පන්දුව පතිත වූ ස්ථානය සම්බන්ධයෙන් පිටිියේ විනිසුරුවරයාගේ තීන්දුව අවසන් තීන්දුව වන බවයි.

එතැන් සිට බාබර් අසාම් ලබාගත් ලකුණු සංඛ්‍යාව 91 කි. යම් ආකාරයකින් එම අවස්ථාවේදී විනිසුරු තීන්දුව දැවී යාමක් වූයේ නම්, ලකුණු 84 දීම පාකිස්තානු නායකයා දවාගත හැකිව තිබිණ.

දිවා ආහාරය වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 118 ක් පසුපසින් සිටි පාකිස්තානු කණ්ඩායම තේ පානයට ගියේ සිය මුල් ඉනිමේ අවාසිය ලකුණු 28 ක් දක්වා අඩුකර ගනිමිනි. වාසිය තවත් අඩුකරගෙන යද්දී මහීෂ් තීක්‍ෂණගේ පන්දුවක් හමුවේ කඩුල්ල ආවරණය කිරීමේ වරදට හසුව බාබර් අසාම් ලකුණු 119 කට දැවී ගියේය. පැය 5 ක් ඉක්මවූ පාකිස්තානු නායකයා සිය ඉනිම තුළදී පන්දු 244 කට මුහුණ දුන් නමුත් ඊට ඇතුළත් වූයේ හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් පමණි.

8 වැනි, 9 වැනි සහ 10 වැනි කඩුලු වෙනුවෙන් යසීර් ෂා (18), හසන් අලී (17) සහ නසීම් ෂා (නොදැවී 05) සමගින් එක්ව බාබර් අසාම් පැවැත්වූ සම්බන්ධතා සටහන් වූයේ ලකුණු 37 ක්, 36 ක් සහ 70 ක් ලෙසිනි.

සතියකට ඉහතදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ ප්‍රභාත් ජයසූරිය පිට පිටම තුන්වැනි ටෙස්ට් ඉනිමේදීත් කඩුලු 5 ක් දවාගත්තේය. ටෙස්ට් ඉනිම 3 කදී ප්‍රභාත් විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 17 කි. පාකිස්තානු ඉනිමේදී එක දිගට ඕවර 31 ක් යවා අවසන් වන විට ප්‍රභාත්ගේ පන්දු යැවීම 31-9-62-5 ක් ලෙසින් සටහන් විය. ඔහු, අද පෙරවරුවේ සිට ඒවායින් ඕවර 27 ක් නොනවත්වාම යැවීය.

වසර ගණනාවක සිටම පාකිස්තානු පිතිකරුවෝ වමත් දඟ පන්දු යවන්නන් හමුවේ මහත් සේ අසරණ වන්නාහ. වසර හතකට පසුව ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තානු කණ්ඩායමත් එම දුර්වලතාවෙන් මිදී නැත.

අද දිනයේ යැවූ පළමු පන්දුවේදීම අසාර් අලී දුන් උඩපන්දුවක් ෂෝට් එක්ස්ට්‍රා කවර්ස් හි සිටි දිමුත් කරුණාරත්න අතින් ගිළිහී ගියද පන්දු දෙකකට පසුව ජයසූරිය හමුවේ ගැසූ ස්වීප් පහර අසාර් අලීට වැරදිණ. ලෝකයේ පිතිකරුවන් අතර පළමු 20 දෙනා අතර සිටින අසාර් අලී ලකුණු 3 කට දැවී ගියේය.

පාකිස්තානු ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක සම්බන්ධතාවක් පැවැති නමුත් මෙම තරගයේදී යැවූ පළමු පන්දුවේදීම මොහොමඩ් රිස්වාන් දවාගැනීමට  රමේෂ් මෙන්ඩිස්ට හැකිවිය. එයින් ඕවර 3 කට පසුව කෝඩුකාර අඝා සල්මාන් ලකුනු 05 කට දැවී යාමෙන් පාකිස්තානු ලකුණු පුවරුව කඩුලු 5 ට 73 ක් ලෙසින් වෙනස් වූයේ පාකිස්තානු ක්‍රීඩකයන්ගේ විවේක කාමරය අන්දමන්ද කරමිනි.

ප්‍රභාත් ජයසූරිය පිටම යැවූ පන්දු දෙකකින් මොහොමඩ් නවාස් සහ ශහීන් ෂා අෆ්රීඩි දැවී ගියහ. කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට තිබූ අවස්ථාව යසීර් ෂා විසින් වළක්වාලන ලද නමුත් විනාඩි 21 ක් ඇතුළත පාකිස්තානු ලකුණු පුවරුව කඩුලු 7 ට 85 ක් ලෙසින් දිස්විය.
එහෙත් එතැන් සිට තරගය සම්පූර්ණයෙන්ම සිය පාලනයට නතුකරගත් පාකිස්තානු නායකයා ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු එකින් එක සිඳ බිඳ දැම්මේය.

හෙට තරගයේ තුන්වැනි දිනයයි.


අදහස් (0)

බාබර් අසාම්ගේ තනි අතින් පාකිස්තානයට මුක්කුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.