Last Update  :  2024-05-10 17:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පුහුණුකරුවන්ගෙන් කරුණු විමසයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

පුහුණුකරුවන්ගෙන් කරුණු විමසයි

editorial - 2023 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූ දුර්දාන්ත පරාජයන් සම්බන්ධයෙන් වහාම කරුණු දක්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික කණ්ඩායම් පුහුණු කාර්ය මණ්ඩලයෙන් සහ තේරීම් කමිටුවෙන් හදිසි පැහැදිලි කිරීමක් ඉල්ලා සිටී.

2023 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි කනස්සල්ල සහ කලකිරීම ප්‍රකාශ කර තිබේ. 

විශේෂයෙන්ම බ්‍රහස්පතින්දා (02) ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 55 ට දැවී යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විමතිය පළකරයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාව හමුවේ පිට පිට දෙවරක්ම ලකුණු 55 ක් හෝ ඊට අඩුවෙන් දැවී ගොස් තිබේ. පසුගිය සැප්තැම්බර් මාසයේ කොළඹදී පැවැති ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී ඉන්දියාව හමුවේ ලකුණු 50 කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එදා කඩුලු 10 කින් පරාජය විය. එයින් සති හයකට පසුව නැවත වරක් ඉන්දියාව මුණගැසුණු අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 55 කට දැවී ගියේ ඉන්දියාවට ලකුණු 302 ක ජයක් හිමිකර දෙමිනි. 

මේ සම්බන්ධයෙන් දැඩි සේ කළකිරීමට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ලෝක කුසලාන තරගාවලියේදී අත්වූ පරාජයන් සම්බන්ධයෙන් සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයෙන් සහ තේරීම් කමිටු සාමාජිකයන්ගෙන් හදිසි සහ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ. 

"ලෝක කුසලාන තරගාවලිය කියන්නේ ගෞරවනීය තරගාවලියක්. මෙවන් තරගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් ශ්‍රී ලාංකික ජාතියට මෙන්ම ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට ඉමහත් ආඩම්බරයක්. එවන් තත්ත්වයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑතකාලීන දුර්වලකම් සහ පරාජයන් ඔවුන්ගේ හදවත් කම්පනයට පත් කරනවා. එබැවින් මෙම තරග සඳහා කණ්ඩායමේ සූදානම, උපාය මාර්ග සහ දක්‍ෂතා පිළිබඳව සැලකිය යුතු ප්‍රශ්න මතු වෙනවා" යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකාරීත්වය, ප්‍රමිතියක් මෙන්ම රෙගුලාසියක් ලෙසින්,  කුලියට ගත් වෘත්තීය මට්ටමේ කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ රාජකාරි සහ වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් කිසිවිටෙකත් බාධා කර නැත. කෙසේ වෙතත්, තම තමන්ට අයත් කාර්යභාරයන් සම්බන්ධයෙන් වගවීම, විනිවිදභාවය මෙන්ම විෂය කරුණු කඩිනමින් විසඳීමේ වැදගත්කම පිළිබඳව ඔවුන්ටත් වගකීමක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ විශ්වාස කරයි. 

කණ්ඩායමේ බලාපොරොත්තු සුන් වූ කාර්ය සාධනය පිටුපස ඇති හේතු තේරුම් ගැනීමට සහ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම අරමුණු කරගනිමින් සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයෙන් කඩිනම් කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය වී තිබේ. එබැවින් පුහුණු කාර්ය මණ්ඩලය සහ තේරීම් කමිටුව ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුව තිබේ. ඒවා පහත පරිදි වෙයි. 


1.  උපාය මාර්ග සහ සූදානම් වීම :  තරඟ අතරතුර කණ්ඩායමේ උපාය මාර්ග, සූදානම සහ උපායශීලී තීරණ පිළිබඳ අවබෝධයක් ලබා දීම.
2.  කණ්ඩායම තේරීම : එක් එක් තරගය සඳහා ක්‍රීඩකයන් තෝරාගත් ආකාරය  සාධාරණීකරණය කිරීම සහ තරගයට ක්‍රීඩා කරන 11 දෙනා සම්බන්ධයෙන් කරන ලද වෙනස්කම් පැහැදිලි කිරීම.
3. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාර්ය සාධනය : එක් එක් ක්‍රීඩකයාගේ සහ කණ්ඩායමේ කාර්ය සාධනය තක්සේරු කිරීම. එක් එක් අයගේ ශක්තීන් සහ දුර්වලතා ඉස්මතු කිරීම මෙන්ම ආබාධයක් හෝ ශාරීරික යෝග්‍යතා ගැටළු විසඳාගත යුතු ආකාරය හෝ විසඳන ලද ආකාරය
4. පශ්චාත් තරග විශ්ලේෂණය : පුහුණු කාර්ය මණ්ඩලය විසින් පවත්වනු ලබන පශ්චාත්-තරග විශ්ලේෂණ  සහ ප්‍රධාන පියවර සම්බන්ධයෙන් පැහැදිලි කිරීම.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය ප්‍රකාරව, යථෝක්ත  මාතෘකා ඔස්සේ පුහුණු කාර්ය මණ්ඩලය කරුණු දැක්විය යුතුව තිබේ. එහෙත් තරග දෙකකින් පසුව ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කරන ලද හිටපු නායක දසුන් ශානක සති තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ඉන්දියාවේ රඳවාගැනීම සම්බන්ධයෙන් කිසිම කරුණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමසා නැත. 

“ජයග්‍රහණය මෙන්ම පරාජයත් ක්‍රීඩාවේ කොටසක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තේරුම් ගෙන ඇතත් මෑත කාලීන පරාජයන් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බෙහෙවින් අධෛර්යමත් කර තිබේ. එබැවින් වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමට සහ ඉදිරියේදී පැවැත්වෙන තරඟ වලදී වඩාත් තරඟකාරී මුහුණුවරකින් ඉදිරියට යාමටත්, ඒ සඳහා නිර්මාණාත්මක වූත් විවෘත වූත් සංවාදයක් ආරම්භ කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුණයි“

“එබැවින්, 2023 ලෝක කුසලාන තරඟාවලියේ ඉතිරි තරඟ මෙන්ම ඉදිරි තරඟ වලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්‍ෂතා ඉහළ නැංවීමට දැඩි කැපවීමක් පෙන්නුම් කරන අතරම, පුහුණු කාර්ය මණ්ඩලයෙන් කඩිනම් සහ සවිස්තරාත්මක ප්‍රතිචාරයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරයි“ යනුවෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයේ අවසන සටහන් වෙයි.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය බැංගලූරුහිදී එංගලන්තයට එරෙහිව පැවැති තරගයට පෙර සාකච්ඡාවක නිරතව සිටි අවස්ථාවක්.....
(ඡායාරූපය – ළහිරු හර්ෂණ)


අදහස් (2)

පුහුණුකරුවන්ගෙන් කරුණු විමසයි
  • Sad Cricket Fan Saturday, 04 November 2023 07:40 AM

    අනික් අයගෙන් පැහැදිලි කිරීම් අවශ්‍ය වෙන්නේ නෑ. වංචාකාරී, දූෂිත විධායක කමිටුව ඉවත්විය යුතුයි.

    Reply 0       0

    chandana Saturday, 04 November 2023 12:31 PM

    මම හිතන්නේ පුහුණු කරුවන් කරන්නේ තමන්ට ලැබුනු කණ්ඩායම පුහුණු කිරීමයි. ඒත් ජාත්‍යන්තර වැදගත් තරගාවලි වලදී සංචිත තෝරනකොට මැතිව්ස් සහ චන්දිමාල්ව අමතක වුණාද? අමතක කළාද? යන්න පැහැදිලිවම සොයා බැලිය යුතුයි. ඒ වගේම වෙනත් රටවල එක් කකුලක් තබාගෙන මුදල ප්‍රධාන සාධකය කරගත් උපදේශකයන්ගෙන් ස්වාධීන උපදේශණයක්ද අපේක්ෂා කළ නොහැකියි. ලෝක කුසලානයට මුලින්ම නම්කල කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සුදුසු නමුත් සැබැවින්ම දක්ෂ කණ්ඩායම් සමග තරඟ කිරීම සඳහා සුදුසු නැත. පැහැදිලිවම අත්තනෝමතික බව සහ බලය යෙදීම විද්‍යාමාන වේ. සාමාන්‍ය කණ්ඩායම් සමග තරඟවලදී ලකුණු ලබාගන්නා එහෙත් දක්ෂ කණ්ඩායම් සමග පැවැත්වෙන තරඟයකදී කලාතුරකින් ලකුණු ලබාගන්නා අය සැමදා කණ්ඩායමේ සිටීමත්, ඔවුන් නායකත්වය දක්වා දක්කාගෙන යාමත් කාගේ උවමනාවන්දැයි සොයා බැලිය යුතුයි. අපේ ක්‍රිකට් වලටද බූවල්ලන් රිංගා ඇති බවට මෙය කදිම නිදසුනකි. මාවන්, ඩිල්ෂාන් කුලසේකර, චන්දිමාල් වැන්නන් හොඳින්ම ක්‍රීඩා කරන කාලයකදී පවා කණ්ඩායම් වලින් ඉවත්වීමේ රහස් රැසක් තිබිය හැකියි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.