Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පිතිකරුවෝ හිස් ඔසවති
දෙවැනි ටෙස්ට් තරගය

පිතිකරුවෝ හිස් ඔසවති

editorial - 2022 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට..)

තම 100 වැනි තරගයේදී ශතකයක් ලබාගැනීමට ඇන්ජලෝ මැතිව්ස් තැබූ බලාපොරොත්තු සිඳී බිඳී ගියේය. එහෙත් ඕෂධ ප්‍රනාන්දු (50) සහ දිනේෂ් චන්දිමාල් (80) දෙදෙනාගේ අර්ධ ශතක දෙකත්, සෙසු ඉදිරිපෙළ පිතිකරුවන්ගේ දායකත්වයත් හේතුවෙන් පාකිස්තානයට එරෙහිව, ගාල්ල ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දින සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 315 ක් ලබා සිටියේය.

ටෙස්ට් ඉනිම 5 කට පසුව ලකුණු අතරට පැමිණි නිරෝෂන් දික්වැල්ල (නොදැවී 42) සහ කෝඩුකාර දුනිත් වෙල්ලාලගේ (නොදැවී 06) දිනය අවසන් වන විට පිටියේ රැඳී සිටියහ.
අද දිනයේ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟුණේ සම්බන්ධතා මතිනි. පළමුවැනි කඩුල්ලේ සිට පිළිවෙලින් සම්බන්ධතා සටහන් වූයේ 92 - 04 - 24 - 75 - 63 - 32 - අඛණ්ඩ ලකුණු 25 ක් වශයෙනි. දිනය අවසානයේදී ඒවායේ එකතුව ලකුණු 315 ක් වී තිබිණ.

ශ්‍රී ලංකා පිලට සිදුවූ විශාලතම අලාභය වූයේ පාකිස්තානු පන්දු යවන්නන් ගල ග්‍රහයෙන් ගෙන සොළවමින් සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 80 දි දැවී යාමයි. මොහොමඩ් නවාස්ගේ පන්දුවක් හමුවේ තම සීමා ඉරෙන් ඉදිරියට පැමිණ ගැසූ පහර නිසා පන්දුව නිසියාකාරව පිත්තේ නොවැදිණ. පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව, ඉහළ නැඟි අතර ෂෝට් තර්ඩ් මෑන් කලාපයේ සිටිි ෆවාඩ් අලාම් උඩපන්දුව ගිලගත්තේය. පැය 3 ක් පමණ පිටියේ රැඳුණු චන්දිමාල්, පන්දු 137 කට මුහුණ දෙමින් හතරේ පහර 7 ක්  සහ හයේ පහර 2 ක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.

81 වැනි ඕවරයේදී පාකිස්තානු නායකයා දෙවැනි නව පන්දුව ලබාගත්තේය. අනතුරුව පන්දුව අතට ගත් නසීම් ෂා ධනංජයගේ පිත්තත් පා ආවරණයත් අතරින් පන්දුව යවමින් කඩුල්ලේ මැද ඉන්න උදුරා දැම්මේ චන්දිමාල්ගෙන් පසුව ශ්‍රී ලංකා පිලට ඉතිරිව තිබූ එකම බලාපොරොත්තුවත් කීතු කීතු කර ඉරා දමමිනි.

කෙසේ වෙතත් නිරෝෂන් දික්වැල්ලගේ රිවර්ස් ස්වීප් පහර නම් අද දිනයේ දැකගත නොහැකි විය. දිනය අවසන් කර ක්‍රීඩාගාරයට යාමට පෙර පන්දු 58 කට මුහුණ දී සිටි නමුත් දික්වැල්ල එකම රිවර්ස් ස්වීප් පහරක් හෝ ගැසුවේ නැත. එහෙත් සම්මත ස්වීප් පහර කිහිපකින් ලකුණු ලබාගැනීමට නම් දික්වැල්ල පසුබට නොවූයේය.

දිවා ආහාරයට පෙර එක් අවස්ථාවකදී කිසිවකු නොදැවී ලකුණු 92 ක් ලෙසින් සටහන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව, දිවා ආහාරයෙන් පසුව 120 කට කඩුලු 3 ක් ලෙසින් දිස්වූයේය. එතැන් සිට පරෙස්සමෙන් පිතිහරඹයේ යෙදුණු ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනා, සිව්වැනි කඩුල්ලට ලකුණු 75 ක් එකතු කළහ.  

තේ පානයට පෙර ඕවරයේදී ඇන්ජලෝ මැතිව්ස් දුන් ඉතාම පහසු උඩපන්දුවක් පාකිස්තානු නායකයා අතින් ගිළිහී ගියද මැතිව්ස්ට වැඩිදුර යා නොහැකි විය. තේ පානයෙන් පසුව ඔහුට ලබාගත හැකිවූයේ ලකුණු 6 කි.

කාසියේ වාසිය දින පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් දිමුත් සහ ඕෂධ දෙදෙනා, කිසිදු අපහසුතාවකින් තොරවම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක් එක්කළහ. දිමුත් සුපුරුදු තැන්පත් ලීලාවෙන් පන්දුවට පහර දෙද්දී, පන්දු යවන්නන්ගේ ගණන් බැස්සවූ ඕෂධ, පන්දු 69 කින් සිය අර්ධ ශතකය කරා අවතීර්ණ විය. අපරික්‍ෂාකාරී නොවූ නමුත්, දුර්වල පන්දුව දුටුතැන පහරදීමට ඕෂධ පසුබට නොවීය.

තරගය ආරම්භවීමට පෙර, තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස්ට සුබපැතීම සඳහා කෙටි උත්සවයක් පැවැත්විණ. ඇන්ජලෝ මැතිව්ස්ගේ බිරිඳ, දරුවන් තිදෙනා සහ මව්පියෝ එම අවස්ථාවට සහභාගි වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිර්මාණය කරන ලද සුවිශේෂී සමරු තිළිණය, එහි උපසභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතා විසින් මැතිව්ස්ට පිළිගන්වන ලදි.  

සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාව උපරිම ජනාදරයට පත්වූ 80 දශකයේ අග භාගයේදී උපන් ක්‍රීඩකයකු වුවද ඇන්ජලෝ මැතිව්ස් සිය ක්‍රිකට් දිවිය නිමාකරනු ඇත්තේ ටෙස්ට් පිටියේ විශිෂ්ටයකු ලෙසිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කළ හයවැන්නා වන මැතිව්ස් මුහුණ දුන් විවිධ ශාරීරික ආබාධ හේතුවෙන් ඔහුගේ සම්පූර්ණ හැකියාව ටෙස්ට් පිටියේදී මුදාහළ නොහැකි විය. එහෙත් පන්දු යැවීම සහ පන්දු රැකීම යම්තාක් දුරට කැප කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉලක්කය ටෙස්ට් ලකුණු 10,000 ඉලක්කය කරා අවතීර්ණ වීමයි.


අදහස් (0)

පිතිකරුවෝ හිස් ඔසවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.