Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පැතුම් - චන්දි - චරිත් ශ්‍රී ලංකාව දිනවති
පල්ලේකැළේ

පැතුම් - චන්දි - චරිත් ශ්‍රී ලංකාව දිනවති

editorial - 2022 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

තීරණාත්මක සැත්කමක් කළ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් මෙන් කිසිම වැරැද්දක් වීමට ඉඩ නොතැබූ පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංක ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී කඩුලු 5 ක විශිෂ්ට ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. 

පන්දු 09 ක් ඉතිරිව තිබියදී ලබාගත් මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුපිරි ලීගයේ ලකුණු සංඛ්‍යාව 52 ක් දක්වා ඉහළට ගෙන ගියේය. 

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් කළ පැතුම් නිස්සංක පන්දු 71 කදී ලකුණු 75 ක් ලබාගත්තේ අලංකාර හතරේ පහර 10 කින් සිය ඉනිම සරසමිනි. කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් සමගින් එක්ව පිළිවෙළින් ලකුණු 40 ක්, 41 ක් සහ 66 ක් ලෙසින් සම්බන්ධතා පැවැත්වූ පැතුම් නිස්සංක දුර්වල පන්දුව දුටුතැනම එය හතරේ සීමාවට හරවා යැවීය. 

නිස්සංකගේ දැවී යාමෙන් පසුව එම කාර්යය අතට ගත් දිනේෂ් චන්දිමාල්, තවමත් එක්දින තරග 8 ක අත්දැකීම් පමණක් ඇති චරිත් අසලංක සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 129 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය පෙනෙන මානයට කැඳවාගෙන ආවේය. චන්දිමාල්ගේ පන්දු 91 ඉනිම නිමා වනවිට ශ්‍රී ලංකා පිලට අවශ්‍ය වූයේ ලකුණු 21 කි. 

ඕවර 40 ක් අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 231 ක් ලබාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් කොටසේ ප්‍රහාරය වෙනුවෙන් කඩුලු අත තබාගෙන සිටියේය. ජය පෙනි පෙනී කඩුලු දෙකක් ඇදවැටුණ නමුත් අපහසුවකින් තොරවම ජයටැඹ පසු කිරීමට අවශ්‍ය මෙහෙවර චන්දිමාල් සහ අසලංක දෙදෙනා කර තිබිණ. 

පැතුම් නිස්සංක පිටියේ සිටියදී තැන්පත් පිතිහරඹයක නිරත වූ චන්දිමාල්ගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය වූයේ 62.06 කි. එහෙත් නිස්සංක දැවී යාමෙන් පසුව ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය 80 දක්වා වැඩිකරගත් හිටපු ශ්‍රී ලංකා නායකයා, යොවුන් ක්‍රීඩක චරිත් අසලංකව මනාව හසුරුවාගනිමින් සම්බන්ධතාව දිගු කළේය. 

සිම්බාබ්වේ පිතිකරුවෝ නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 296 ක් ලබාගත්හ. රෙගීස් චකබ්වා (72) සහ ෂෝන් විලියම්ස් (100) දෙදෙනා සිම්බාබ්වේ පිල ලකුණු 296 ක් කරා කැඳවාගෙන ගියහ. 

40 වැනි ඕවරය නිමා වන විට ෂෝන් විලියම්ස් (නොදැවී 67) සහ සිකන්දර් රාසා (නොදැවී 07) කඩුල්ලේ රැඳී සිටියේ මුලු ලකුණු සංඛ්‍යාව 280 සීමාවෙන් ඔබ්බට ගෙන යාමේ අරමුණ ඇතිවය. අවසන් ඕවර 10 දී පන්දු 60 කින් ලකුණු 69 ක් ලබාගත් සිම්බාබ්වේ පිතිකරුවෝ තරගයෙන් ජයගැනීමට නම් ඕවරයකදී ලකුණු 6 ක පමණ වේගයක් රඳවාගන්නා ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝග කළහ. 

සිය පස්වැනි එක්දින ශතකය හතරේ පහර 9 කින් සහ හයේ පහර 2 කින් අලංකාර කළ විලියම්ස්, 48 වැනි ඕවරයේදී චාමික කරුණාරත්නට ගැසූ හයේ පහර කලකට අමතක නොවන්නකි. පා ඉන්නට පිටතින් පතිත වූ පන්දුව පිත්තේ නොවැදුණානම් වයිඞ් පන්දුවක් වීමටත් තිබිණ. 

වමත්කාරයා වන ෂෝන් විලියම්ස්, සිම්බාබ්වේ ඉනිමේ නැංගුරම බවට පත්විය. ආරම්භක පිතිකරුවා වූ රෙගීස් චකබ්වා සමගින් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ විලියම්ස්, ඉන් අනතුරුව, වෙස්ලි මදව්රේ සමගින් 4 වැනි කඩුල්ලට ලකුණු 42 ක්ද එකතු කළේය. සිකන්දර් රාසා සමගින් තවත් ලකුණු 46 ක සම්බන්ධතාවක් පැවැත්වූ විලියම්ස් දැවී යන විට සිම්බාබ්වේ කණ්ඩායම 280 සීමාව ඉක්මවා තිබිණ. 

ශ්‍රී ලංකා පිලෙන් උඩපන්දු දෙකක් ගිළීහී ගිය නමුත් දෙවැන්න එතරම් හානිදායක නොවූයේ ලකුණු 4 කට පසුව වැන්ඩසේගේම පන්දුවකින් තාකුඞ්ෂේ කයිතානෝ දැවී ගිය බැවිනි. එහෙත් නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ රෙගීස් චකබ්වා දුන් උඩපන්දුව චරිත් අසලංකගෙන් ගිළිහී යාමෙන් නිසි ප්‍රයෝජන ගත් දකුණත් පිතිකරුවා කලබලයකින් තොරවම ශතකය කරා පියමං කළද අවසානයේදී විනිසුරු තීරණ විමසීමේ ආධාරයෙන් දවාගැනීමට කුසල් මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩසේ සමත් වූහ.  චකබ්වාගේ පන්දු 81 ක ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහරකින් සමන්විත විය. 

ප්‍රදීප්ගේ තුන්වැනි ඕවරයේ පළමු පන්දුව රෙගීස් චකබ්වාගේ පිත්තේ පිටත දාරයේ වැදී පළමු ස්ලිප් දෙසට ඇදී ගියේය. ඉතාම පහසු උඩපන්දුවක් වූ එය චරිත් අසලංකගේ දෑත් අතරින් රිංගා යන විට චකබ්වා ලබා සිටියේ ලකුණු 02 ක් පමණි. එතැන් සිට පසුපස නොබැලූ සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉතාමත් පහසුවෙන් මුහුණ දෙමින් ලකුණු වේගය 5.00 ක් ආසන්නයේ තබාගත්හ. 

මුල් ඕවර 10 නිමාවන විට සිම්බාබ්වේ පිලේ ලකුණු සංඛ්‍යාව 47 ක් විය. එතැන් සිට ලකුණු වේගය වැඩි කිරීමට ගත් උත්සාහයේදී තාකුඞ්ෂේ කයිතානෝ ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ දැවී ගියේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක් එක් කිරීමෙන් පසුවය. මෙම ලකුණු 80 එකතු කිරීම සඳහා ආරම්භක පිතිකරුවන් දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 88 කට පමණි. 

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පැකිළීමකින් තොරවම පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරා ගත්තේය. නුවන් ප්‍රදීප්ගේ පළමු ඕවරය එක ලකුණකට සීමා වූවත් කෝඩුකාර ගුණසේකර හමුවේ ලකුණු 8 ක් ලබාගත් සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවෝ තමන් සුළුවෙන් නොතකන්න’යි ඉඟි කළහ. 

අද තරගයේ කෝඩුකාරයා වන චාමික ගුණසේකර යැවූයේ එකම ඕවරයක් පමණි. සිය එකම ඕවරයේදී ලකුණු 8 ක් තිළිණ කළ ගුණසේකර, ඊළඟ ඕවරයේදී කකුල අල්ලාගෙන ආපසු ක්‍රීඩාගරයට ගියේය. ගුණසේකර ආපසු ක්‍රීඩාගාරයට ගිය බැවින් පන්දුව බාරගත් මහීෂ් තීක්‍ෂණ එතැන් සිට යැවූ ඕවර 3 ලකුණු 10 කට සීමා කරගත්තේය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් තහවුරු කළේ චාමික ගුණසේකරගේ පාදයේ කලව පිටුපස මස්පිඬුව ඇදී ඇති බවයි. 

 

ලකුණු පුවරුව 
සිම්බාබ්වේ 
තාකුඞ්ෂේ කයිතානෝ - ක.මු.කළා ප.වැන්ඩසේ 42
රෙගීස් චකබ්වා - ඇ.කුසල් මෙන්ඩිස් ප.වැන්ඩසේ 72
ක්‍රෙග් අර්වින් - ප.කමිඳු මෙන්ඩිස් 9
ෂෝන් විලියම්ස් - ප.කරුණාරත්න 100
වෙස්ලි මදව්රේ - ප.කරුණාරත්න 20
සිකන්දර් රාසා - ක.මු.කලා ප.නුවන් ප්‍රදීප් 18
රයාන් බර්ල් - ඇ.දසුන් ශානක ප.නුවන් ප්‍රදීප් 4
වෙලින්ටන් මසකඞ්සා - දුවද්දී දැවී ගියා 6
බ්ලෙසිං මුසර්බානි - ප.කරුණාරත්න 3
චෙන්ඩායි චටාරා - නොදැවී 1
රිචඞ් න්’ගරාවා - නොදැවී 10
අතිරේක 11
එකතුව ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 296
කඩුලු වැටීම : 
1-80(කයිතානෝ), 2-110(අර්වින්), 3-160(රෙගීස්), 4-202(මදව්රේ), 5-248(රාසා), 6-252(බර්ල්), 7-269(මසකඞ්සා), 8-285(විලියම්ස්), 9-286(බ්ලෙසිංග්)
පන්දු යැවීම : 
නුවන් ප්‍රදීප් : 10-1-54-2
චාමික ගුණසේකර :  1-0-08-0
මහීෂ් තීක්‍ෂණ : 10-0-40-0
දසුන් ශානක :  4-0-34-0
චාමික කරුණාරත්න : 10-1-69-3
ජෙෆ්රි වැන්ඩසේ :  6-0-44-2
කමිඳු මෙන්ඩිස් :  6-0-32-1
චරිත් අසලංක :  3-0-13-0
 
ශ්‍රී ලංකාව 
පැතුම් නිස්සංක - ඇ.චකබ්වා ප.සිකන්දර් රාසා 75
කුසල් මෙන්ඩිස් - ඇ.චකබ්වා ප.මුසරබානි 26
කමිඳු මෙන්ඩිස් - ප.න්’ගරාවා 17
දිනේෂ් චන්දිමාල් - ඇ.අර්වින් ප.න්’ගරාවා 75
චරිත් අසලංක - ක.මු.කළා ප.න්’ගරාවා 71
දසුන් ශානක - නොදැවී 10
චාමික කරුණාරත්න - නොදැවී 5
අතිරේක 21
එකතුව ඕවර 48.3 කදී කඩුලු 5 ක් දැවී 300
කඩුලු වැටීම : 
1-40(කුසල් මෙන්ඩිස්), 2-81(කමිඳු මෙන්ඩිස්), 3-147(පැතුම් නිස්සංක), 4-276(දිනේෂ් චන්දිමාල්), 5-292(චරිත් අසලංක)
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ
ජෙෆ්රි වැන්ඩසේ, මහීෂ් තීක්‍ෂණ, චාමික ගුණසේකර සහ නුවන් ප්‍රදීප්
පන්දු යැවීම : 
බ්ලෙසිං මුසරබානි : 9.3-0-58-1
ටෙන්ඩායි චටාරා : 9-0-56-0
රිචඞ් න්ගරාවා : 9-0-56-3
වෙලිංන්ටන් මසකඞ්සා : 6-0-29-0
රයාන් බර්ල් : 1-0-12-0
ෂෝන් විලියම්සන් : 8-0-43-0
සිකන්දර් රාසා : 4-0-23-1
වෙස්ලි මදව්රේ : 2-0-17-0
 
තරගයේ වීරයා - දිනේෂ් චන්දිමාල්


අදහස් (0)

පැතුම් - චන්දි - චරිත් ශ්‍රී ලංකාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.