Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පාකිස්තානයට එරෙහිව ධනංජය - පැතුම්

පාකිස්තානයට එරෙහිව ධනංජය - පැතුම්

editorial - 2022 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය ගාල්ලේ සිට)

පාකිස්තානයට එරෙහිව පැවැත්වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම්කරන ලද ක්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත සංචිතයට ධනංජය ද සිල්වා මෙන්ම පැතුම් නිස්සංකද ඇතුළත්ව සිටිති. ටෙස්ට් සංචිතයේ සිටි ප්‍රවීන් ජයවික්‍රම සහ ලසිත් ඇඹුල්දෙණිය දෙදෙනාම සංචිතයෙන් ඉවත්කර, දෙවැනි ටෙස්ට් තරගයේ වීරයා වූ ප්‍රභාත් ජයසූරිය සහ දුනිත් වෙල්ලාලගේ වමතින් දඟ පන්දු යවන්නන් වශයෙන් සංචිතයේ රඳවාගෙන තිබේ.

ටෙස්ට් සංචිතයේ සිටි ධනංජය ද සිල්වා කොරෝනා වයිරසයට ගොදුරු වීම හේතුවෙන් ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළේය. පැතුම් නිස්සංක දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටියදී කොරෝනා වයිරසයට ගොදුරු වීම හේතුවෙන් ඔහුගේ ස්ථානයට තාවකාලිකව ඕෂධ ප්‍රනාන්දු ආදේශ කරන ලදි.

අද පෙරවරුවේදී කරන ලද විමසීමකදී දැනගත හැකිවූයේ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගය සඳහා පැතුම් නිස්සංක සහභාගි වන්නේ වෛද්‍ය උපදෙස් අනුව බවයි.

“පැතුම් මේ වෙනකම් හුදෙකළා කරලා ඉන්නේ. ඒත් එයා අද (14 වැනිදා) හවස නැත්නම් හෙට උදේ හුදෙකළාවෙන් නිදහස් වෙනවා”

“ඊට පස්සේ, එයාගේ පපුවේ එක්ස්-කිරණ වාර්තාවක් වගේම තවත් පරීක්‍ෂණ කිහිපක් කරන්න තියෙනවා. ඒ පරීක්‍ෂණ වලින් පස්සේ, ලැබෙන වෛද්‍ය වාර්තාව අනුව තමයි එයා පළමු ටෙස්ට් තරගට ක්‍රීඩා කරනවාද නැද්ද කියලා බලන්නේ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිපත්තිය වන්නේ කිසියම් ක්‍රීඩකයකු ආබාධයක් හෝ රෝගී තත්ත්වයක් මත කණ්ඩායමෙන් ඉවත්ව යන්නේ නම්, ඔහු නැවත පැමිණි විගසම ඔහුගේ ස්ථානය ඔහුට දීමයි. ඒ අනුව ධනංජය ද සිල්වා බොහෝදුරට පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ තිබේ.

ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයට පෙර කොරෝනා වයිරසයට ගොදුරු වුවද ඉන් සුවය ලද ධනංජය ද සිල්වා, දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදම ක්‍රීඩාංගණයට පැමිණ සිටියේය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියයේ 2021 - 2023 කාණ්ඩයට අයත් තරගාවලියකි. ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව පැවැති වෝන් - මුරලි තරගවලිය 1-1 ක් ලෙසින් සමවීමෙන් පසුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය දක්වා (ජයග්‍රහණ ප්‍රතිශතය 57.17%) ඉහළ නැඟීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටී.
තරගාවලියේ පළමු තරගය ලබන සෙනසුරාදා (16 වැනිදා) ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් ටෙස්ට් තරගාවලියයි.   මෙතැන් සිට ලබන වසරේ මාර්තු මාසයේදී ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට යන තුරුම, ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගාවලියක් නැත.

 
ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්‍ෂණ, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ප්‍රභාත් ජයසූරිය, දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩසේ

 


අදහස් (0)

පාකිස්තානයට එරෙහිව ධනංජය - පැතුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.