Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පාකිස්තානය අසීරු ගමනක
දෙවැනි ටෙස්ට් තරගය

පාකිස්තානය අසීරු ගමනක

editorial - 2022 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට..)

ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (25 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 191 ක් ලබා සිටි පාකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ  අසීරු ගමනක නිරතව සිටියේය. ශ්‍රී ලංකාවේ ලකුණු 378 පසුකර යාම සඳහා පාකිස්තානු පිලට තවත් ලකුණු 187 ක් අවශ්‍යව ඇතත්, ඒ වෙනුවෙන් ඔවුන් සතුව ඇත්තේ කඩුලු 3 ක් පමණි.

මෙම තරගය පැවැත්වෙන තණතීරුව තවමත් පිතිකරුවන්ට යෝග්‍ය මට්ටමක පවතින බැවින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාව වන්නේ දැනට තිබෙන ලකුණු 187 ක වාසිය හැකි තරම් දුරට ආරක්‍ෂා කරගැනීමයි.

ලකුණු 145 දී හයවැනි කඩුල්ලත් බිම වැටීටමන් පසුව, යසීර් ෂා සහ අඝා ෂල්මාන් දෙදෙනා අද දිනය තුළදී තම කඩුලු ආරක්‍ෂා කරගැනීමට දැඩි උවමනාවකින් ක්‍රීඩාකළහ. විනාඩි 85 ක් තිස්සේ ඔවුන් දෙදෙනා හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනංවා තිබිණ. වේග පන්දු යවන්නා වන අසිත ප්‍රනාන්දු, ගාලු කොටුව අන්තයෙන් හොඳ පන්දු යැවීමක නිරතව සිටියද, අවසන් ඕවරය යැවීම සඳහා ප්‍රභාත් ජයසූරිය කැඳවූ ධනංජය ද සිල්වා, ශ්‍රී ලංකාවට අවශ්‍යම කර තිබූ පිතිකරුවාගේ ඉනිම අවසන් කරගත්තේය.

අඝා සල්මාන්ගේ හෝරා 3 කට ආසන්න පිතිහරඹයේදී ඔහු පන්දු 126 කට මුහුණ දුන් නමුත් ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 4 ක් සහ හයේ පහරක් පමණි. මේ ඔහුගේ දෙවැනි ටෙස්ට් තරගය වන අතර ඔහුගේ මංගල ටෙස්ට් තරගය වූයේ පසුගිය සතියේදී ගාල්ලේදීම පැවැති පළමු ටෙස්ට් තරගයයි.

තුන්වැනි කඩුල්ලත් ලකුණු 65 දී බිඳ වැටීමෙන් පසුව පාකිස්තානු කණ්ඩායම ගොඩගැනීම සඳහා ෆවඩ් අලාම් සහ අඝා සල්මාන් දැඩි පරිශ්‍රමයක නිරතව සිටියහ. ෆවාඩ් අලාම් සැලකෙන්නේ මෙවන් අසීරු අවස්ථාවකදී පාකිස්තානය ගොඩගැනීමට සිටින හොඳම පිතිකරුවා ලෙසිනි. වසර 2009 දී කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදීත් ෆවාඩ් අලාම් එවැන්නක් කළේය.

එදා පාකිස්තානු කණ්ඩායම මුල් ඉනිමේ ලකුණු 150 අවාසියකට මුහුණ දී සිටියද, ෆවාඩ් අලාම් ලබාගත් ලකුණු 168 හේතුවෙන් පාකිස්තානුවෝ දෙවැනි ඉනිමේදී ලකුණු 320 ක් ලබාගත්හ. අලාම් මෙවැනි ඉනිම කිහිපයක්ම ක්‍රීඩා කර තිබේ. සාමාන්‍ය පිතිකරුවන්ට වඩා වෙනස් ආකාරයකින්, සිය පපුව ඉදිරියට දමා පන්දුවට මුහුණ දීම සූදානම් වන ෆවාඩ්ට අද දිනයේදී ලබාගත හැකිවූයේ ලකුණු 24 කි.

ඉනිම ආරම්භයේදීම පාකිස්තානයට මරු පහරක් දුන් අසිත ප්‍රනාන්දු, සිය දෙවැනි පන්දුවෙන්ම අබ්දුල්ලා ශෆීක් පිටියෙන් ඉවත් කරගත්තේය. බාබර් අසාම් සහ ඉමාම් උල් හක් එක්ව පාකිස්තානය ඉදිරියට ගෙන ගිය නමුත් ප්‍රභාත් ජයසූරිය හමුවේ තරමක් මුරණ්ඩු පහරක් ගැසීමට යාමෙන් පාකිස්තානු නායකයා සිය කඩුල්ල අහිමි කරගත්තේය.

එතැන් සිට ආරක්‍ෂාවත් ආක්‍රමණයත් අතරේ දෝලනය වෙමින් පාකිස්තානු පිතිකරුවන් පන්දුවට පහර දුන් නමුත් හොඳ පන්දු දෙකකින් ඉමාම් උල් හක් සහ මොහොමඩ් රිස්වාන් දැවී ගියහ. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය රිස්වාන්, තමන්ට එරෙහිව දුන් තීන්දුව නැවත විමසා සිටි නමුත් එයින් සිදුවූයේ පාකිස්තානුවන්ගේ විතීවි අවස්ථාවක් නාස්තිකරගැනීම පමණි.

ශ්‍රී ලංකා පිතිකරුවන් අද උදෑසන පන්දුවට පහර දුන්නේ පැය එක හමාරකි. ඊයේ සවස නොදැවී ලකුණු 42 ක් ලබා සිටි නිරෝෂන් දික්වැල්ල ධෛර්ය සම්පන්න අර්ධ ශතකයක් ලබාගත්තද, පුල් පහරක් ගැසීමට ගත් උත්සාහය වැරදී යාමෙන් කඩුලු රකින්නාට උඩපන්දුවක් ලැබිණ. දික්වැල්ලගේ ඉනිමේ විශේෂත්වය වූයේ ඔහු මුහුණ දුන් පන්දු 54 න් එකකට හෝ රිවර්ස් ස්වීප් පහරක් ගැසීමට උත්සාහ නොකිරීමයි.

රමේෂ් මෙන්ඩිස්ගේ ධෛර්යවන්ත පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 378 ක් ලබාගත හැකිවිය. පැයකට වැඩි කාලයක් පිටියේ රැඳෙමින් ලකුණු 35 ක් ලබාගත් රමේෂ් මෙන්ඩිස් අවසන් පිතිකරුවන් දෙදෙනා සමගින් කණ්ඩායමට එකතු කළ ලකුණු සංඛ්‍යාව 50 කි. ඔහු දැවීගියේද අවසන් පිතිකරුවා ලෙසිනි.


අදහස් (0)

පාකිස්තානය අසීරු ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.