Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පාකිස්තාන පළමු ඉනිම - 191

පාකිස්තාන පළමු ඉනිම - 191

editorial - 2019 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕවර 59.3 කදී - 10/191

ළහිරු කුමාරගේ සහ ලසිත් ඇඹුල්දෙණියගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පාකිස්තාන කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 191 ක් පමණි. එහිදී බාබර් අසාම් (60) සහ අසාද් ශෆීක් (63) අර්ධ ශතක ලබාගැනීමට සමත් වුවද, ළහිරු සහ ඇඹුල්දෙණියගේ පන්දු යැවීම හමුවේ පාකිස්තාන ඉනිම කඩා වැටිණ.

තේ පාන‍යෙන් අනතුරුව ක්‍රියාත්මක කරන ලද පළමු ඕවරයේ පිට පිට පන්දු දෙකකදී මොහොමඩ් රිස්වාන් (4) සහ යසීර් ෂා (0) දවාගත් ළහිරු ඉන් නොනැවතී, දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් සිටි අසාද් ශෆීක්ගේ ඉනිමද නිමා කළේය.

ඇඹුල්දෙණියගේ පන්දු හමුවේ ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් දෙමින් මොහොමඩ් අබ්බාස් ලකුණු නොළබාද, ඇන්ජලෝ මැතිව්ස් අතට උඩ පන්දුවක් දෙමින් ශහීන් අෆ්රිඩි ලකුණු 5 කටද පිටියෙන් ඉවත්ව ගියහ.

.........................................................................................................

ඕවර 52 කදී - 5/171

තේ පානය සඳහා තරගය නතර කරන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 171 ක් ලබා සිටි අතර ඒ වන විට අසාද් ශෆීක් ලකුණු 49 ක්ද, මොහොමඩ් රිස්වාන් ලකුණු 4 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ අනුව ශෆීක් සිය 26 වැනි ටෙස්ට් අර්ධ ශතකය පෙනෙන මානයේ සිටියි. 

තේ පානයට පෙර ක්‍රියාත්මක කෙරුණ 51 වැනි ඕවරයේදී ලකුණු 9 ක් ලබා සිටි හැරිස් සෙ‍ා‍හේල් කඩුල්ල මුවාකිරීමේ වරදකට හසුකර ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් විය. සොහේල්ගේ දැවී යෑමත් සමග ඔහු සහ ශෆීක් අතර පාකිස්තාන ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 40 ක සම්බන්ධතාවද නිමාවට පත් විය.

.........................................................................................................

ඕවර 40 කදී - 4/127

ඉනිමේ 40 වැනි ඕවරය නිමාවන විට ලකුණු 127 කට සිවුවැනි කඩුල්ලත් අහිමිව සිටි පාකිස්තාන කණ්ඩායම යළිත් පෙර පරිදිම අසීරු තත්ත්වයකට පත්ව සිටියේය. ඒ වන විට අසාද් ශෆීක් ‍හතරේ පහරක් සමග නොදැවී ලකුණු 23 ක් ලබා සිටි අතර එක් පන්දුවකට පමණක් මුහුණදී සිටි හැරිස් සොහේල් ලකුණු ලබාගැනිම ආරඹා නොසිටියේය.

දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් සිටි බාබර් අසාම්, හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 60 ක් ලබා සිටියදී ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ අනවශ්‍ය ලෙස සීමා ඉරෙන් ඉවතට පැන පහරක් ගැසීමට යෑමෙදී නිරෝෂන් දික්වැල්ලගේ ස්ටම්ප් කිරීමකට හසු විය.

.........................................................................................................

ඕවර 32 කදී - 3/104

ඉනිමේ 32 වැනි ඕවරය නිමාවන විට කඩුලු 3 ක් දැවී ලකුණු 100 සීමාව පසුකර යෑමට පාකිස්තාන පිතිකරු‍වෝ සමත් වූහ. එහිදී සිය 13 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් බාබර් අසාම් එය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සැරසුවේය.

දිවා ආහරයෙන් අනතුරුව එක් කඩුල්ලක් හෝ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉඩක් ලබා නොදුන් පාකිස්තාන පිතිකරුවෝ සිය ඉනිමට තවත් ලකුණු 28 ක් එක්කර ගත්හ. දිවා ආහාරයට පෙර පන්දු යැවීම සඳහා කැඳවීම් නොලඳ පිට දඟ පන්දු යවන ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා, දිවා ආහාරයෙන් අනතුරුව 32 වැනි ඕවරය ක්‍රියාත්මක කරමින් සිය පන්දු යැවීම ආරම්භ කළේය.

.........................................................................................................

ඕවර 24 කදී - 3/72

තෙවැනි කඩුල්ල බිඳවැටීමත් සමග ආක්‍රමණශීලී පිතිහරඹ රටාවෙන් මිදී යළිත් ආරක්ෂාකාරී පිතිහරඹ රටාවට අවතීර්ණ වූ පාකිස්තාන පිතිකරුවෝ දිවා ආහාරය සඳහා තරගය නතර කරන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් කඩුල්ලක් පූජා නොකිරීමට වග බලාගත්හ.

ඒ අනුව දිවා ආහාරය සඳහා තරගය නතර විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 72 ක් ලබා සිටි අතර ඒ වන විට කඩුල්ලේ රැදී සිටි බාබර් අසාම් හතරේ පහර 4 ක් සමග ලකුණු 27 ක්ද, අසාද් ශෆීක් එක් ලකුණක්ද ලබා සිටියහ.

දිවා විවේකය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනා වන විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර ඕවර 8 බැගින් යවා තිබූ අතර එහිදී විශ්ව කඩුලු 2 ක්ද, ළහිරු එක් කඩුල්ලක්ද දවාගනිමින් පාකිස්තාන කණ්ඩායම පීඩනයට පත් කළහ.

ඕවර 11 ක් නිමා වීමෙන් අනතුරුව වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පන්දු යැවීම සඳහා කැඳවුවද, දිවා විවේකය දක්වා ඕවර 7 ක් යැවූ ඔහු එහිදී කඩුල්ලක් දවාගැනීමට අපොහොසත් විය. 

.........................................................................................................

ඕවර 20.3 කදී - 3/65

ඕවර 20.3 ක් අවසානයේ ලකුණු පුවරුවට 65 වැනි ලකුණ එක්වන පාකිස්තාන කණ්ඩායම සිය තෙවැනි කඩුල්ලත් අහිමිකරගෙන සිටියේය. ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් අබීඩ් අලී ලකුණු 38 කට දැවී යෑමත් සමග පාකිස්තාන කණ්ඩායමේ පීඩනය වැඩි විය.

මුල් ඕවර 10 තුළදී තරමක් ආරක්ෂාකාරී පිතිහරයක නිරත වෙමින් ලකුණු 29  ක් පමණක් රැස්කළ පාකිස්තාන පිතිකරුවෝ, දෙවැනි ඕවර 11 තුළදී නිදහසේ පහරවල් කරා යමින් සිය ලකුණු පුවරුවට තවත් ලකුණු 36 ක් එක් කරගත්හ. හතරේ පහර 7 ක් සමග ලකුණු රැස්කළ අබීඩ් අලී සහ බාබර් අසාම් (නොදැවී 21) එහිදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූහ.

.........................................................................................................

ඕවර 10 කදී - 2/29

ඕවර 10 නිමාවට පත්වන විට පාකිස්තාන කණ්ඩායම ලකුණු 29 කට කඩුලු 2 ක් දැවී තරමක් අසීරු තත්වයකට පත්ව සිටි‍යේය. පාකිස්තාන කණ්ඩායම එම තත්වයට ඇද දැමූ විශ්ව ප්‍රනාන්දු හයවැනි ඕවරයේ පළමු සහ තෙවැනි පන්දුවලදී ආරම්භක පිතිකරු ශාන් මක්සූද්ගේ (5) සහ නායක අසාර් අලීගේ (0) කඩුලු බිඳ දැමුවේය.

නිලකුණු ඕවර 3 ක් සමගින් ඕවර 5 ක් යැවූ විශ්ව එහිදී ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 8  ක් පමණි. ළහිරු කුමාර ඕවර 4 කදී ප්‍රතිවාදීන්ට ලකුණු 9 ක් ලබාදුන්නේ නිලකුණු ඕවරයක්ද යවමිනි. ඉනිමේ 10 වැනි ඕවරය යැවීම සඳහා නායක දිමුත් කරුණාරත්න පැමිණි අතර එහිදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 11 ක් රැස්කිරීමට අබීඩ් අලී (නොදැවී 19) සමත් විය.

.........................................................................................................

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චිහිදී අද (19 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායක අසාර් අලී පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. පළමු තරගයේදී ආබාධයකට ලක්වූ කසුන් රාජිත වෙනුවට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටියි.

පාකිස්තාන කණ්ඩායම

අසාර් අලී (නායක), ශාන් මසූද්, අබීඩ් අලී, බාබර් අසාම්, හැරිස් සොහේල්, අසාද් ශෆීක්, මොහොමඩ් රිස්වාන්, යසීර් ෂා, මොහොමඩ් අබ්බාස්, නසීම් ෂා සහ ශහීන් අෆ්රිඩ්

ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර


අදහස් (0)

පාකිස්තාන පළමු ඉනිම - 191

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.