Last Update  :  2024-05-10 17:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පරාජයේ පූර්ණ වගකීම පිතිකරුවන් භාරගත යුතුයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

පරාජයේ පූර්ණ වගකීම පිතිකරුවන් භාරගත යුතුයි

editorial - 2023 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

(ශානුක අරවින්ද මුම්බායි නුවර සිට..)

ශ්‍රී ලංකා කණ්ඩායම මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඉන්දියාව හමුවේ ලැබූ නින්දා සහගත පරාජයේ පූර්ණ වගකීම පිතිකරුවන් භාරගත යුතුයැයි කණ්ඩායමේ සහාය පුහුණුකරු මෙන්ම පිතිහරඹ පුහුණුකරු ලෙසද කටයුතු කරන නවීඩ් නවාස් මහතා පැවසීය. තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින ඔහු ඒ බව කියා සිටියේය.

‍මෙම වසර (2023) තුළ සිවුවැනි වරටත් එක්දින තරගයකදී ලකුණු 100 කට අඩුවෙන් දැවී ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, ‍මෙම තරගයේදී ලකුණු 55 කට සීමා වෙමින් ඉන්දියාවට ලකුණු 302 ක දැවැන්ත ජයක් තිළිණ කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින ලෝක කුසලාන තරගාවලියකදී (ලකුණු පරතරය අනුව) ලැබූ දරුණුම පරාජය ලෙසද එය වාර්තා අතරටද එක් විය.

“‍මේ තරගය ගැන කියද්දි විශේෂයෙන්ම කියන්න ඕන ඉන්දීය පන්දු යවන්නන් ඉතා විශිෂ්ඨ ලෙස පන්දු යැව්වා. ඔවුන්ට ඒ ගෞරවය හිමිවිය යුතුයි. අපේ පිතිකරුවන් ගැන කතා කරනවා නම්. ඔවුන් අලුත් පන්දුවේ දෝලනය මුහුණදුන් ආකාරය ගැන කිසි සේත්ම සෑහෑමකට පත්වෙන්න බෑ. මොකද අලුත් පන්දු දෙකකින් පන්දු යවනකොට ඒ ‍වගේ දෝලනයක් තියේවි කියන එක අපි කලින්ම බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්.”

“සාමාන්‍යයෙන් අපි තරගයකට පිවිසෙන්නෙ පූර්ව සූදානමක් ඇතිව. එ‍තකොට අපි මේ දේවල් ගැන කතා කරනවා. ඉතින් සිදුවුණ වැරදිවලට වගකීම අපිට භාරගන්න සිදුවෙනවා. ඉදිරිපෙළ පිතිකරුවන් කඩා වැටෙනකොට එය වලක්වා ගන්න මැද පෙළ පිතිකරුවන්ට බැරි වුණා. ඇන්‍‍ජලෝ මැතිව්ස් විතරයි ඒකට පොඩි හරි උත්සාහයක් ගන්නව අපි දැක්කෙ.” යැයි නවාස් මහතා පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඔවුන් මුහුණදුන් පළමු පන්දුවලදීම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ලකුණු නොළබා දැවී ගිය අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පීඩනයක් බවට පත් විය. ඉන් අනතුරව පිටියට පිවිසි නායක කුසල් මෙන්ඩිස් පන්දු 10 කදී එක් ලකුණක් ලබාගත් අතර සදීර සමරවික්‍රම ලකුණු නෙළබා දැවී ගියේ පන්දු 4 කට මුහුණදෙමිනි.

ඇන්ජ‍ලෝ මැතිව්ස් (12) සමග එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම එම පීඩනයෙන් මුදවාගැනීමට තැත් කළ චරිත් අසලංක පන්දු 24 කට මුහුණදුන් නමුත් දැවී යන විට ඔහු ලබා සිටියේද ලකුණු 1 ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පිතිකරුවන් 5 දෙනාගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ ලකුණු 0, 0, 1, 0 සහ 1 ක් ලෙසිනි. ඉන් අනතුරුව පිටියට පිවිසි දුෂාන් හේමන්ත සහ දුෂ්මන්ත චමීරද ආ පයින්ම ආපසු ක්‍රීඩාගාරය බලා ගියේ ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙරාතුවය.

“තරගයකදී අපිට පසුපෙළ පිතිකරුවන්ගෙන් සහ පන්දු යවන්නන්ගෙන් ලොකු ලකුණු ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒත් මේ තරගයෙදි ඔවුන් තමයි කණ්ඩායම යම් තරමකට හරි ගොඩ දැම්මේ. ඔවුන් ‍ඒ දේ කළේ නැත්ම් අපේ පරාජය මීටත් වඩා දරුණු වෙන්න තිබුණා. ඒ නිසා අපේ සමස්ත පිතිහරඹයම විවේචනය කිරීම සාධාරණ නැහැ කියලා මම විශ්වාස කරනවා.”

“මේ තරගෙට කලින් දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය වගේ ප්‍රබල පන්දු යවන්නන් ඉන්න කණ්ඩායම් වලට පවා අපි ලකුණු 300 ට වැඩියෙන් ගැහුවා. ඒ නිසා මේ වගේ තරගයකදි අවස්ථාවට අනුව හැඩගැසීමේ දුර්වලතාවක් තමයි මම අපේ පිතිකරුවන්ගෙන් දකින්නෙ. නැතුව ඔවුන්ගෙ දක්ෂතාවල අඩුවක් නෙමෙයි.” යැයිද නවස් මහතා කියා සිටියේය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ආරම්භක පිතිකරුවකු ලෙස සාර්ථක වූ පැතුම් නිස්සංක පිට පිට තරග 4 කදී අර්ධ ශතක 4 ක් ලබාගත් අතර ඉන් පසුව ක්‍රීඩා කළ තරග‍‍යේදීද ලකුණු 46 ක් රැස්කළේය. එහෙත් ඔහු සමග ඉනිම ආරම්භ කළ කුසල් ජනිත් පෙරේරා තරග 5 කදී රැස්කළේ ලකුණු 94 ක් පමණි. පසුව කුසල් වෙනුවට කණ්ඩායමට කැඳවූ දිමුත් කරුණාරත්නද තරග දෙකකදී ලකුණු 15 කට සීමා විය.

“අපේ පිතිහරඹ ලැයිස්තුවෙ අඩුපාඩු කිහිපයක් තියෙනවා කියලා මම හිතනවා. ආරම්භක පිතිකරු ස්ථානයෙ වගේම අංක 6 සහ 7 ස්ථානවලත් ගැටලු තියෙනවා අපි දැක්කා. ඒ වගේම ඒ ගැටලු විසඳන්න අපි හුඟක් උත්සහ කළා. ඒත් අවාසනාවකට වගේ කුසල් ජනිත්ගෙන් ‍හෝ දිමුත් කරුණාරත්නගෙන් බලාපොරොත්තු වුණ දක්ෂතා අපිට ලැබුණෙ නෑ.”

“පැතුම්, සදීර, කුසල් සහ අසලංක වැනි ක්‍රීඩකයො ලකුණු අතර හිටියා. ඒත් අංක 6 ස්ථානයෙ සාර්ථක වෙන්න ධනංජයට බැරි වුණා. ඒ වගේම දසුන් ආබාධයකට ලක්වීමත්, විවිධ අදේශ කිරීම් නිසාත් අංක 7 ස්ථානයේ කිසිම පිතිකරුවෙකුට ස්ථාවර වෙන්න බැරි වුණා. ඉදිරි තරග දෙකේදිවත් මේ ගැටලු විසඳගන්න පුළුවන් ‍වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද නවාස් මහතා සඳහන් කළේය.


අදහස් (3)

පරාජයේ පූර්ණ වගකීම පිතිකරුවන් භාරගත යුතුයි
  • A disgusted cricket Fan Saturday, 04 November 2023 12:04 PM

    පිතිකරුවන්ටම පමණක් වරද පටවන්න බැහැ.. මීට සම්බන්ධව කටයුතු කළ සියලු දෙනාම වගකියන්න ඕනෑ... තෝරාගැනීම් කරන්නන්, පුහුණුකරුවන්, උපදේශකයන් සහ ක්‍රීඩකයන්... SLC එකට මේ සම්බන්ධයෙන් මූලික වගකීමක් තියෙනවා.

    Reply 0       0

    A disgusted Fan Saturday, 04 November 2023 02:01 PM

    පුහුණුකරුවන් මීට මූලිකවම වගකිව යුතුයි. මාස 02කට පෙර ආසියානු කුසලාන තරගයකදී ශ්‍රී ලංකාව ලකුණු 51කට දැවීගියා. දැන් තරග 9න් තරග 7ක්ම පැරදුණා. මොනවද ප්‍රධාන පුහුණුකරු කළේ..? පිතිකරණ පුහුණුකරු, උපදේශක මේක විසඳන්න මොනවද කරන්නේ? ක්‍රීඩකයින්ට වරද පටවන්න බැහැ. මේ පුහුණුකරුවන් පඩි අරන් මේක විසඳන්න කිසිම දෙයක් කරලා නැහැනේ..

    Reply 0       0

    A disgusted cricket fan Saturday, 04 November 2023 03:41 PM

    ප්‍රධාන පුහුණුකරු, පිතිකරණ පුහුණුකරු, උපදේශක හා ක්‍රීඩකයින්ට මෙහි වගකීමේ කොටසක් අයිතියි. නමුත් SLC එකට මූලිකව චෝදනාව එල්ලකළ යුතුයි. ක්‍රිකට් විනාශ වුණේ එතැනින්... දක්ෂතා ඇති අයව ඉස්සරහට නොගැනීමත්, මුදල් නාස්තිකිරීමත් විතරයි සිදුකළේ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.