Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පන්දුව නැවතත් මැතිව්ස් අතට
ශී‍්‍ර ලංකා - කොදෙව් දෙවැනි ටෙස්ට් තරගය

පන්දුව නැවතත් මැතිව්ස් අතට

editorial - 2021 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ඇන්ජලෝ මැතිව්ස් නැවතත් පන්දු යැවීමට සැරසෙයි. කොදෙව් පිලට එරෙහිව ගාල්ලේදී හෙට (29 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී නව පන්දුවෙන් පන්දු යැවීම ආරම්භ කිරීමට ඇන්ජලෝ මැතිව්ස් යොදාගනිමින්, කණ්ඩායමට තවත් පිතිකරුවකු එකතු කිරීම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මීළඟ උපාය වී තිබේ.

ජයග‍්‍රාහී පළමු ටෙස්ට් තරගයේදී ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් වෙතින් යැවුණු  ඕවර 165 න්, වේග පන්දු යවන්නන් දෙදෙනා වූ සුරංග ලක්මාල් (6) සහ දුෂ්මන්ත චමීර (12* යැවූයේ  ඕවර 18 ක් පමණි. තරගයේදී බිඳවැටුණු කොදෙව් කඩුලූ 20 න් කඩුලූ 19 ක්ම බෙදී ගියේත් ද`ග පන්දු යවන්නන් අතරය. එබැවින් ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරග සඳහා වේග පන්දු යවන්නන්ගේ තදබල අවශ්‍යතාවක් නැතත්, යම් හෙයකින් කාසියේ වාසිය අහිිමි වුවහොත්, සුරංග ලක්මාල් සමගින් නව පන්දුව භාවිතා කිරීමට තරමක් හෝ වේගයෙන් පන්දු යවන කී‍්‍රඩකයකුගේ අවශ්‍යතාව තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්, කලක් තිස්සේ ටෙස්ට් තරග වලදී පන්දු නොයවා සිටියේ ඔහුගේ පාදයේ කලව මස්පිඬුව ආබාධයකට ලක්වීමේ අවදානමෙන් මිදී සිටීමේ අටියෙනි. එය වෛද්‍ය උපදෙස් මත ගත් පියවරක් විය. අනෙක් අතට කි‍්‍රකට් තේරීම් කමිටු නිලධාරීන්ගේ මෙන්ම විශේෂඥයන්ගේ මතය වූයේත් ”මැතිව්ස්ගෙන්  ඕවර 10 ක් යවාගන්නවාට වඩා පිතිකරුවකු ලෙසින් ඔහුගෙන් ලකුණු 100 ක් කණ්ඩායමට එකතුකර ගැනීම වඩාත් ප‍්‍රයෝජනවත්” ය යන්නයි.

කෙසේ වෙතත් කණ්ඩායමේ අවශ්‍යතා සලකා බලමින්, විශේෂඥ පිතිකරුවකු ලෙසින් කී‍්‍රඩා කරන අතරවාරයේදීම, කණ්ඩායම වෙනුවෙන්  ඕවර කිහිපයක් යැවීමට මැතිව්ස් ඉදිරිපත් වී තිබේ.

මැතිව්ස්ගේ පන්දු යැවීමේ සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර 120 ත් 125 ත් අතර පවතී. ගාල්ල වැනි තණතීරුවකදී එය වඩාත් ප‍්‍රයෝජනවත් වනු ඇතැයි කණ්ඩායමේ අපේක්‍ෂාවයි. මේ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දෙවැනි මතය වන්නේ පිතිකරුවන් 6 දෙනකුගෙන් කී‍්‍රඩා කිරීමට වඩා පිතිකරුවන් 7 දෙනකුගෙන් කී‍්‍රඩා කිරීම ඉදිරියේ එන ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන (ටෙස්ට්) තරගාවලිය සඳහාත් වඩාත් හොඳ සූදානමක් විය හැකි බවයි.

එබැවින් නව පන්දුව ඇන්ජලෝ මැතිව්ස්ට බාර කරමින් චරිත් අසලංකට ටෙස්ට් හිස්වැස්ම පිරිනැමීම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නවතම සැලැස්ම වී තිබේ. ඒ අනුව දුෂ්මන්ත චමීර විවේක ගන්වමින් නැවතත් කණ්ඩායමට කැඳවූ චාමික කරුණාරත්නට තවත් තරගයක් හෝ දෙකක් ඉවසා ඉන්නට සිදුවෙයි. චාමික කරුණාරත්න අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගි වූයේ වසර තුනකට පමණ ඉහතදී,  ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව කැන්බරා නුවරදීය.

තරගය ජයගැනීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමට හෝ පුහුණු කාර්ය මණ්ඩලයට කිසිදු සැකයක්, විචිකිච්චාවක් නැත. ඇත්තේ වර්ෂාවෙන් ඊට බාධා ඇතිවේද යන අනියත බිය පමණි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගයක් ජයගැනීම වෙනුවෙන් හිමිවන ප‍්‍රසාද ලකුණු 12 ලබාගත් ශී‍්‍ර ලංකා පිලේ අපේක්‍ෂාව මෙම තරගාවලියේද ලකුණු 24 ම ලබාගැනීමයි.

2021-23 ටෙස්ට් ලෝක ශූරතාවලියේදී වඩාත් අසීරු තරග ඇත්තේ ඉදිරියට වන බැවින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලැබෙන අවස්ථාවේදී උපරිම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට අදහස් කරන්නේ තරගයක් ජයගෙන සිටින මොහොතක, ඉතිරි තරගයත් ජයගත හැකිනම් එය ඉදිරියේ පැවැත්වීමට නියමිත, වඩාත් අභියෝගාත්මක තරගාවලි සඳහා හොඳ ආයෝජනයක් වන බැවිනි.

මේ වන විට ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයෝ කිහිපදෙනෙක්ම සිය ස්ථාන අහිමි වීමේ තර්ජනයට ද මුහුණදී සිටිති. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව විසින් අනුගමනය කරනු ලබන ”යොවුන් ප‍්‍රතිපත්තිය” හේතුවෙන් මිනෝද් භානුක, චරිත් අසලංක, ලසිත් ඇඹුල්දෙණිය, චාමික ගුණසේකර සහ කමිල් මිෂාර වැන්නන් ජාතික සංචිතයට කැඳවා තිබේ. ඔව්හු තමන්ට අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටිති.

කෙදෙව් කණ්ඩායමේ වෙනසක් අපේක්‍ෂා කළ නොහැකි නමුත් මේ වනවිට පවතින වැසිබර කාලගුණය හේතුවෙන් කොදෙව් පිල අතිරේක වේග පන්දු යවන්නකු කණ්ඩායමට කැඳවනු ඇතැයිද දැනගන්නට ඇත. එහෙත් ඒ සම්බන්ධ තහවුරු කළ වාර්තා ඊයේ සවස්වන විටත් නොතිබිණ.

 


අදහස් (0)

පන්දුව නැවතත් මැතිව්ස් අතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.