Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මානස් ලැබුෂේන්ගේ මංගල ද්විත්ව ශතකයෙන් ඕස්ට්‍රේලියානු පිල සවිමත් වූවද සිඞ්නි නුවරදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී නවසීලන්ත පිතිකරුවෝ පරෙස්සම් සහගත ආරම්භයක් ලබාගත්හ. තරගයේ දෙවැනි දිනය වූ අද (4 වැනිදා) සවස 6.00 ට පමණ ක්‍රීඩාව නතර කරන විට නවසීලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 63 ක් ලබා සිටියේය.
අංක 3 ස්ථානය සඳහා ඕස්ට්‍රේලියානුවන්ගේ නවතම සොයාගැනීම වන මානස් ලැබුෂේන් පැය අට හමාරකට මඳක් වැඩි කාලයක් කඩුල්ලේ රැඳෙමින් ලබාගත් ලකුණු 215 නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 454 ක් ලබාගත්තේය.
තේ පානයට මඳවේලායකට පෙර ඕස්ට්‍රේලියානු ඉනිම අවසන් වූ අතර නවසීලන්ත පිතිකරුවන් දෙදෙනා වූ ටොම් ලේතම් සහ ටොම් බ්ලන්ඞ්ල් පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියානු වේග පන්දු ආක්‍රමණයට මුහුණ දුන්හ. නිත්‍ය නායක කේන් විලියම්සන් ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනකු අසනීප වීම හේතුවෙන් ආරම්භක පිතිකරු ටොම් ලෙතම් මෙම තරගයේදී නවසීලන්ත පිල මෙහෙයවයි.
ඉදිරිපෙළ පිතිකරුවන් වන කේන් විලියම්සන් සහ හෙන්රි නිකොල්ස් දෙදෙනාත් වමතින් දඟ පන්දු යවන්නා වන මිචෙල් සෑන්ට්නර් ද අසනීපකරුවන්ගේ ලයිස්තුවට එක්ව සිටිති. මෙම ක්‍රීඩකයෝ වෛරස් ආසාදනයකට ලක්ව සිටිති.
නවසීලන්ත ඉනිමේදී පිතිකරුවන් දැවී ගිය බවට ප්‍රබල ඉල්ලීම් දෙකක් තිබිණ. එකක් නේතන් ලයන් යැවූ පන්දුවක් පා ආවරණයෙන් කඩුල්ලට යා නොදී අවහිර කිරීමක් වූ අතර අනෙක පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ ලැබුණු උඩපන්දුවක් විය. ඒ අවස්ථා දෙකින් ගැලවීමට නවසීලන්ත පිතිකරුවෝ සමත් වූයේ ඉසිලිය නොහැකි තරම් උෂ්ණත්වයක් යටතේ පැය 10 කට ආසන්න කාලයක් පිටියේ රැඳී සිටීමෙන්ද පසුවය.
දිනයේ වැඩි ගෞරව දිනාගත්තේ අංක 3 පිතිකරු මානස් ලැබුෂේන්ය. සිය මංගල ද්විත්ව ශතකයට එක ලකුණක් අඩුවෙන් තිබියදීත් විනාඩි 20 ක් එම ලකුණ සොයමින් සිටි ලැබුෂේන් කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම්ගේ පන්දුවක් ස්ලිප් කලාපයට යවමින් ද්විත්ව ශතකය සම්පූර්ණ කළේය. ඒ වන විට ලැබුෂේන් මුහුණ දී සිටි පන්දු 363 න් 19 ක් හතරේ සීමාවට ගොස් තිබිණ. මීට පෙර ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම වූයේ පසුගිය නොවැම්බරයේදී පාකිස්තානයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී ලබාගත් ලකුණු 185 යි.
ගෙවීගිය 2019 වසරේදී ටෙස්ට් පිතිකරුවන් අතර වැඩිම ලකුණු ලාභියා වූ ලැබුෂේන් ලකුණු 1104 ක් ලබාගත්තේය. 2020 දී ඔහු ද්විත්ව ශතකයකින් සිය ගමන ආරම්භ කර තිබේ.
පා දඟ පන්දු යවන ටොඞ් ඇස්ට්ල්ගේ පන්දුවකින් ලැබුෂේන් දැවී යාමට පෙර ටිම් පේන්ගෙන් ඔහුට අනගි සහයෝගයක් ලැබිණ. හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක් එක්කළ ලැබුෂේන් සහ ටිම් පේන් දෙදෙනා ලකුණු 400 සීමාවෙන් ඔබ්බට තම කණ්ඩායම කැඳවාගෙන ගියහ. එහෙත් එතැන් සිට නවසීලන්ත පන්දු යවන්නෝ ලකුණු 44 ක් තුළ ඉතිරි පිතිකරුවෝ සිව් දෙනාම දවාගත්හ.
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 454 යි
(ඬේවිඞ් වෝනර් 45, ජෝ බර්න්ස් 18, මානස් ලැබුෂේන් 215, ස්ටීවන් ස්මිත් 63, මැතිව් වේඞ් 22, ට්‍රැවිස් හෙඞ් 10, ටිම් පේන් 35, මිචෙල් ස්ටාක් 22, කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම්78/3, නීල් වැග්නර් 66/3, ටොඞ් ඇස්ට්ල් 111/2)
නවසීලන්තය - පළමු ඉනිම කිසිවකු නොදැවී 63
(ටොම් ලේතම් නොදැවී 26, ටොම් බ්ලන්ඩල් නොදැවී 34)
..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.