දිල්ලි - මුම්බායි අවසන් සටන අද
අවසන් මහ තරග අත්දැකීම් බහුල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව අවසන් මහ තරග සඳහා කෝඩුකාරයන් වන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අයි.පී.එල්. ශූරතාව දිනාගැනීමේ අරමුණින් අද ඩුබායිහිදී තරග බිමට පිවිසීමට නියමිතය. 13 වැනි වරටත් පැවැත්වෙන තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතය.
දිල්ලි කණ්ඩායම අවසන් මහ තරගයකට සහභාගි වන්නේ පළමු වරටය. එහෙත් මුම්බායි කණ්ඩායම අවසන් මහ තරගයකට සහභාගි වන 6 වැනි අවස්ථාව මෙයයි. මින් පෙර අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ අවස්ථා 5 න් 4 කදීම (2013, 2015, 2017, 2019) තරගාවලියේ ශූරයන් බවට පත්වීමට මුම්බායි කණ්ඩායම සමත් විය.
මෙවර තරගාවලියේ ශූරතාවද තමන් සතු කරගැනීමට මුම්බායි කණ්ඩායම සමත් වුවහොත්, පිට පිටම දෙවතාවක් අයි.පී.එල්. ශූරයන් බවට පත්වන දෙවැනි කණ්ඩායම ලෙසද ඔවුන් වාර්තා අතරට එක්වනු ඇත. මින් පෙර එවන් දක්ෂතාවක් දැක්වූ එකම කණ්ඩායම වන්නේ 2010 සහ 2011 වසර වලදී පිට පිටම ශූරයන් බවට පත්වූ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩයමයි.
අද පැවැත්වෙන අවසන් මහ තරගයේදී මුම්බායි කණ්‍ඩායමේ විදෙස් ක්‍රීඩකයන් සිවුදෙනා ලෙස ක්වින්ටින් ඩි’කොක්, කිරන් පොලාඩ්, ට්‍රෙන්ට් බෝල්ට් සහ නේදන් කූල්ටර්නයිල්ද, දිල්ලි කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන් සිවුදෙනා ලෙස මාකස් ස්ටොයිනිස්, කගිසෝ රබාඩා, ශිම්රන් හෙට්මියර් සහ ඇන්රික් නොයේද ක්‍රීඩා කරති.
ක්‍රීඩකයන් ආබාධයන්ට ගොදුරු වී නොමැති බැවින් පළමු කඩයිම් තරගයට ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම මෙන්ම දෙවැනි කඩයිම් තරගයට ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායම කිසිදුවෙනස්කමකින් තොවර අවසන් මහ තරගයටද ක්‍රීඩා කරනු ඇතැයි විචාරකයෝ පවසති.
රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලියේ මූලික වටයේදී සහභාගි වූ තරග 14 න් 9 ක් ජයගනිමින් අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය. ඔවුන් අවසන් මහ තරගය පිවිසියේ අවසන් වටයේ පළමු කඩයිම් තරගයේදී ලකුණු 57 කින් දිල්ලි කණ්ඩායම පරාජය කරමිනි.
ශ්‍රෙයාස් අයියර් නායකත්වය දරන දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේ තරග 14 න් 8 ක් ජයගනිමිනි. අවසන් වටයේ පළමු කඩයිම් තරගයේදී මුම්බායි කණ්ඩායම හමුවේ පරාජයට පත්වුවද, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි කඩයිම් තරගය ලකුණු 17 කින් ජයගමින් දිල්ලි කණ්ඩායම අවසන් මහ තරගයට පිවිසියේය.
පළමු කඩයිම් තරගයත් සමග මේ දක්වා මෙවර තරගාවලිය තුළ අවස්ථා තුනකදී මෙම කණ්ඩායම් දෙක එකිනොකට එරෙහිව තරග වැදී ඇති අතර එම තරග තුනේම ජය තමන් සතු කරගැනීමට මුම්බායි ක්‍රීඩකයෝ සමත් වූහ. එදා මෙදා තුර අයි.පී.එල්. ඉතිහාසයේදී මෙම කණ්ඩායම් දෙක අතර තරග 27 ක් පැවැත්වී ඇති අතර ඉන් 15 ක් ජයගැනීමට මුම්බායි කණ්ඩායමත්, 12 ක් ජයගැනීමට දිල්ලි කණ්ඩායමත් සමත් වී ඇත.
මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පළමු 10 දෙනා අතර මුම්බායි පිතිකරුවෝ තිදෙනෙක්ද, දිල්ලි පිතිකරුවෝ දෙදෙනෙක්ද සිටිති. දිල්ලි කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකර් ධාවන් තරග 16 කදී ලකුණු 603 ක් ලබා එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර නායක ශ්‍රෙයාස් අයියර් තරග 16 කදී ලකුණු 454 ක් ලබා එහි 9 වැනි ස්ථානයේ පසුවෙයි.
මුම්බායි කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’කොක් තරග 15 කදි ලකුණු 483 ක් ලබා වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ සිවුවැනි ස්ථානයේ රැදී සිටියි. මුම්බායි කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් දෙදෙනකු වන ඉෂාන් කිෂන් තරග 13 කදී ලකුණු 483 ක්ද, සූර්යකුමාර් යාදව් තරග 15 කදී ලකුණු 461 ක්ද බැගින් ලබා පිළිවෙලින් වැඩිම ලකුණු ලාභීන් අතර 5 වැනි සහ 8 වැනි ස්ථානවල පසුවෙති.
මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීම සඳහාද මුම්බායි කණ්ඩයමේ ජස්ප්‍රීට් බුම්රා සහ දිල්ලි කණ්ඩායමේ කගිසෝ රබාඩා අතර ද්වන්ද සටනක් නිර්මාණය වී තිබේ. අවසන් තරගයට පෙර රබාඩා තරග 16 කදි කඩුලු 29 ක්ද, බුම්රා තරග 14 කදී කඩුලු 27 ක්ද බැගින් දවාගෙන පිළිවෙලින් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පළමු සහ දෙවැනි ස්ථානවල රැදී සිටිති.
තරගාවලිය පුරා ප්‍රතිවාදී කණ්ඩායම්වල පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා බුම්රාට අනගි සහායක් දුන් ට්‍රෙන්ට් බෝල්ට් (තරග 14 කදී කඩුලු 22) සහ රබාඩාට අනගි සහායක් දුන් ඇන්රික් නෝයේ (තරග 15 කදී කඩුලු 20) පිළිවෙලින් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ තෙවැනි සහ 7 වැනි ස්ථානවල පසුවෙති.
-036
