Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International තරගයේ වාසිය බංග්ලාදේශය අතට
ගාල්ල ටෙස්ට් තරගය

තරගයේ වාසිය බංග්ලාදේශය අතට

editorial - 2025 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)

නායක නජ්මුල් හොසේන් (148) සහ මුෂ්ෆිකුර් රහීම් (163) එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 264 ක වාර්තාගත සම්බන්ධතාව මත සිටගත් ලිටන් දාස්ගේ තර්ජනාත්මක පිතිහරඹය නිසා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී බංග්ලාදේශීහු තරගයේ වාසිය මිට මොළවාගෙන සිටිති. සම්පූර්ණ දින දෙකක කාලයක් පන්දුවට පහර දුන් බංග්ලාදේශීහු අද සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 9 කට ලකුණු 484 ක් ලබා සිටියහ. 

අද දහවල් ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගයේ පැය දෙක හමාරක පමණ කාලයක් අපතේ ගියත් වර්ෂාවෙන් පසුව තරගය පැවැති පැය එක හමාරක පමණ කාලයේදී ලකුණු 26 ක් ඇතුළත කඩුලු 5 ක් බිඳ වැටිණ. වර්ෂාවට පෙර කඩුලු 4 කට ලකුණු 423 ක් ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායම අද සවස තරගය නතර කළේ ලකුණු 484 කට කඩුලු 9 ක් අහිමිකර ගනිමිනි. 

පැය 9 කට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳුණු රහීම් පන්දු 350 කට මුහුණ දෙමින් ඒවායින් 9 ක් හතරේ සීමාවට යැවීය. 

අද පෙරවරුවේදී තරගය ආරම්භ වීමෙන් පසුව පන්දුව අතට ගත් අසිත ප්‍රනාන්දු සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් බංග්ලාදේශ නායකයාගේ ඉනිම නිමා කිරීමට සමත් විය. එහෙත් විනාඩි 423 ක් තිස්සේ තම කඩුල්ල රැකගෙන සිටි මුෂ්ෆිකුර් රහීම්, දිවා ආහාරය වන විටත් ලකුණු 141 ක් ලබා නොදැවී සිටියේය. අසිත ප්‍රනාන්දුගේ පන්දුවකින් රහීම් දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. 

මුලු ලකුණු සං්‍යාව 303 ක් ව තිබියදී අසිතගේ පන්දුවක් හමුවේ නජ්මුල් හොසේන් කඩුල්ල මුවා කරමින් දැවී ගිය බවට විනිසුරු ඇලෙක්ස් වෝෆ් මහතා තීන්දු කළේය. එහෙත් එය විතීවි ක්‍රමවේදය කරා යොමුකළ බංග්ලාදේශ නායකයා සිය කඩුල්ල රැකගත්තේ පන්දුව පා ආවරණයේ වැදීමට පොරතුව ඔහුගේ පිත්තේ වැදී ගිය බැවිනි. එහෙත් එයින් ලකුණු 06 කට පසුව, මිඩ් ඕන් හි පන්දු රකිමින් සිටි ඇන්ජලෝ මැතිවිස්ගේ අති විශිෂ්ට පන්දු රැකීමක් හේතුවෙන් නජ්මුල්ගේ ඉනිම  අවසන් වූවත් අසිතගේ අද පෙරවරුවේ පන්දු යැවීම (5-1-14-1)  ඕවර 5 කින් අවසන් විය.

පැය පහ හමාරකට වැඩි කාලයක් පිටියේ රැඳුනු ශන්ටෝ, පන්දු 279 කින් 16 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය. ඒවායින් එකක් තරිඳු රත්නායක හමුවේ ගැසූ දැවැන්ත හයේ පහරකි. 

ශන්ටෝට පසුව පිටියට පැමිණි ලිටන් දාස්ට නම් ආ වෙලාවේ සිටම වාසනාව තිබිණ. 

දාස්ගේ ඉනිම ආරම්භයේදී ලිටන් දාස් සහ මුෂ්ෆිකුර් රහීම් දෙදෙනාම පිතිකරුවාගේ අන්තයේ සිටි නමුත් කුසල් මෙන්ඩිස් අහුලාගත් පන්දුව පන්දු යවන අන්තයට යැවීමට පෙර ලිටන් දාස් තම සීමාවට පැමිණියේය. දාස් ලකුණු 14 ක් ලබා සිටියදී මිඩ් ඕන් හි සිටි පැතුම් නිස්සංකට දුන් උඩපන්දුව ගිළිහී ගියේය. පිතිකරුවාගේ ප්‍රතිචාරය වූයේ ඊළඟට මුහුණ දුන් පන්දු තුනම හතරේ සීමාවෙන් එපිටට යැවීමයි. ඒවායින් දෙකක් මිඩ් ඕන් හි සිටි නිස්සංකගේ හිසට ඉහළින් හතරේ සීමාව බලා ගිය අතර අනෙක ඩීප් තර්ඩ් මෑන් කලාපය හරහා හතරේ සීමාව පසුකර ගියේය. 

අද දිනයේ අහිමි වූ කාලය අත්පත්කරගැනීම සඳහා තරගය හෙට පෙරවරු 9.45 ට ආරම්භ කිරීමට නියමිතය. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

තරගයේ වාසිය බංග්ලාදේශය අතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.