Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International තරග 12 ක් ශ්‍රී ලංකාවේදී
කාන්තා ලෝක කුසලාන

තරග 12 ක් ශ්‍රී ලංකාවේදී

editorial - 2025 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලබන සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී මූලික වටයේ තරග 11 ක් සහ අවසන් පූර්ව වටයේ තරගයක් කොළඹදී පැවැත්වීමට නියමිතය. පාකිස්තානය අවසන් පූර්ව වටයට පැමිණියහොත් නිසැක වශයෙන්ම එම තරග කොළඹදී පැවැත්වෙන නමුත් යම් හෙයකින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගතහොත් එම තරගයත් කොළඹදී පැවැත්වීමට උපරිම උත්සාහය දරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස්ම නිලධාරියෙක් තහවුරු කළේය. 

දැනට පවතින තත්ත්වය අනුව මෙම තරග 11 ත් සමගින් අවසන් පූර්ව තරගය සහ (පාකිස්තානය සුදුසුකම් ලබාගතහොත් පමණක්) අවසන් මහ තරගයත් කොළඹදී පැවැත්වීමට නියමිතය. එහෙත් ඔක්තෝබර් මාසයේදී පැවතිය හැකි කාලගුණික තත්ත්වය අනුව තරග කිහිපයක් ගාල්ල, දඹුල්ල හෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණ වලදී පැවැත්වීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර තිබේ. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මූලික තීරණය වූයේ සමස්ත තරගාවලියම ඉන්දියාවේදී පැවැත්වීමටය. එහෙත් පසුගිය මාසයේදී උත්සන්න වූ ඉන්දු - පාකිස්තානු ගැටුම් හේතුවෙන් පාකිස්තානු කාන්තා කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කිරීමට අකමැත්ත පළකළ බැවින් පාකිස්තානු කාන්තා කණ්ඩායම සහභාගි වන සියලුම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කරන ලදි. 

එම තත්ත්වය අනුව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමසේ ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වය දක්වන බැවින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තරග දෙකක් හැර අනෙක් තරගත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කළේය. ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම් අතර තරගය බෙංගලූරු නුවරදී පැවැත්වේ. 

ශ්‍රී ලංකාව සහ එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර තරගය ගුවහටි නුවරදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සෙසු තරග සියල්ලම ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇත. තරගාවලියේ කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සඳුදා (16 වැනිදා) නිකුත් කරන ලදි. 

කණ්ඩායම් 8 ක් සහභාගි වන කාන්තා (එක්දින) ලෝක කුසලාන තරගාවලිය සැප්තැම්බර් මස 30 වැනිදා බෙංගලූරු නුවරදී ආරම්භ වේ. ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් එදින තරග වැදීමට නියමිතය. 

තරගාවලියේ සැකැස්ම අනුව මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 7 කට බැගින් සහභාගි වෙති. අනතුරුව ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් හතර අතර අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙයි. සැප්තැම්බර් 30 වැනිදා ආරම්භ වන තරගාවලිය නොවැම්බර් 2 වැනිදා දක්වා පැවැත්වේ.

පෙරහුරු තරග කිහිපයක් සැප්තැම්බර් මස 24 වැනිදා සිට පැවැත්වීමට නියමිතය. 


අදහස් (0)

තරග 12 ක් ශ්‍රී ලංකාවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.