Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ටෙස්ට් ලකුණු 10,000 ට ඉලක්කය අල්ලන මැතිව්ස්

ටෙස්ට් ලකුණු 10,000 ට ඉලක්කය අල්ලන මැතිව්ස්

editorial - 2022 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)
ඒ වසර මීට වසර 14 කට නැත්නම් 15 කට ඉහතදී කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති අන්තර් පළාත් ක්‍රිකට් තරගයකි. යන්තම් 21 හැවිරිදි තරුණ ක්‍රීඩකයෙක්, පළමු පෙළ තරගයකදී ලබාගත් මංගල ද්විත්ව ශතකය කරා අවතීර්ණ වූයේ පන්දු යවන්නාගේ හිසට ඉහළින් ගැසූ හයේ පහරකිනි. ද්විත්ව ශතකය ලබාගත් උද්දාමය හේතුවෙන්, පිතිකරුවා තවත් ලොකු පහරක් කරා යනු ඇතැයි එදා එස්.එස්.සී. පිටියේ සිටි කිහිප දෙනා බලාපොරොත්තු වුවද සිදුවූයේ අනෙකකි.

ඉතාමත් තැන්පත් ලීලාවෙන් ඊළඟ පන්දුව පිළිගත් පිතිකරුවා, ඉදිරියට දැමූ සිය පාදයත් පිත්තත් එක ළග තබාගෙන, ක්‍රිකට් පොතේ ලියා තිබෙන ආකාරයටම ආරක්‍ෂිත පහරකින් එය පිළිගත්තේය. ක්‍රිකට් ලෝලීන්ගේ වදනින් කියන්නේ නම් “නොම්මර එකේ තට්ටුවක් දැම්මේය”

ඒ වන විටත් ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය දරා සිටි, මේ ජවසම්පන්න තරුණයා, ක්‍රිකට් පිටියේ දිගු ගමනක් යන ආකාරය එදා කදිමට පෙන්නුම් කර දුන්නේය. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යයි කියන්නේ නිකමට නොවේ.

ඇන්ජලෝ මැතිව්ස්ගේ මුල්ම ක්‍රිකට් ගුරුතුමා වන්නේ ඔහුගේ පියාණන් වන ටිරෝන් මැතිව්ස් මහතාය. කුඩා ඇන්ජලෝට පමණක් නොව, තම වැඩිමහල් පුත් ටේ‍රවින්ටද ක්‍රිකට් ක්‍රීඩාවේ අයන්න කියා දුන් තැනැත්තා ටිරෝන් මැතිව්ස්ය.  

ඇන්ජලෝ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලට ඇතුළත් වන විටත් ටේ‍රවින් එහි කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකුව සිටියේය. විද්‍යාලයේදී මුලින්ම කපිල ප්‍රනාන්දු මහතාගේ ගුරුහරුකම් ලද ඇන්ජලෝ, පසුව ශාන්ත ජෝෂප් විද්‍යාලයේ කීර්තිමත් ක්‍රිකට් පුහුණුකරුවකු වන හර්ෂ ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රිකට් සිප් සතර උගත්තේය. වත්මන් ටෙස්ට් නායකයා වන දිමුත් කරුණාරත්න සහ තිසර පෙරේරා ද සමගින් එකම පාසල් කණ්ඩායමේ ක්‍රීඩා කළේය.

ඒ වයස 16 දී ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ මැතිව්ස්, 2006 යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට නායකත්වය දුන්නේය.

ටෙස්ට් තරග 99 කට ක්‍රීඩා කරමින්, හෙට (ඉරිදා) තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් පොතේ හැටියටම ක්‍රිකට් ගහන පිතිකරුවකු නොවේ. එබැවින් ඔහුට පන්දු යැවීම හෝ පිටිය සකස් කිරීමත් තරමක් අසීරු කාරියකි.

සිරුරේ සියලු ජවය සිය බාහු යුග්මයට ගනිමින් ගසන බැක් කට් පහරත්, පා ඉන්න පැත්තෙන් එන පන්දුව කොතැන පතිත වුවත්, අවස්ථාවේ හැටියට නිර්මාණය කරගන්නා පුල් පහරකින් ඊට සංග්‍රහ කිරීමත්, තම සීමාවේම සිටිමින්, නැතහොත් සීමා ඉරෙන් ඉදිරියට පනිමින් ‘ලෝන්ග් ඕන්’ හෝ ‘ලෝන්ග් ඕෆ්’ කලාපයන්ට ඉහළින් නැතහොත් පන්දු යවන්නාගේ හිසට ඉහළින් ගහන ජව සම්පන්න ‘ලොෆ්ටට් ඩ්‍රයිව්’ පහරත් මැතිව්ස් පිටියේ සිටින්නේ නම් අපේක්‍ෂා කළ හැකි දසුන්ය. ගාල්ලේ ක්‍රිකට් ලෝලීන්ට නම් මෙවැනි දසුන් හොඳට හුරු පුරුදුය.

එකම ක්‍රීඩාංගණයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ටෙස්ට් පිතිකරුවන් අතර ලෝකයේ 10 වැනියා වී සිටින්නේ මැතිව්ස්ය. ගාල්ල ක්‍රීඩාංගණයේදී  මේ දක්වා ටෙස්ට් තරග 25 කට සහභාගි වී සිටින මැතිව්ස් එහිදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 1659 කි. මැතිව්ස්ගේ ටෙස්ට් අර්ධ ශතක 38 න් 13 ක්ම ලබාගත්තේ ගාල්ලේදීය.
 
ඇන්ජලෝ මැතිව්ස්ගේ මංගල ටෙස්ට් තරගය, ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ සුවිශේෂී තරගයකි. 2009 දී පාකිස්තානු කණ්ඩායමට එරෙහිව පැවැති එම තරගය වැඩිදෙනාගේ මතකයේ පවතින්නේ රංගන හේරත් නම් වූ නිහතමානී, වමත් දඟ පන්දු යවන්නාගේ දෙවැනි උපත සිදුවූ තරගය ලෙසිනි.

එදා තරගයේදී ලකුණු 168 ක ඉලක්කයක් කරා යමින් සිටි පාකිස්තානුවෝ තරගයේ තුන්වැනි දිනය අවසන් කළේ ලකුණු 71 කට කඩුලු 2 ක් ලෙසිනි. එහෙත් සිව්වැනි දින පෙරවරුවේදී පාකිස්තානුවෝ ලකුණු 117 කට දැවී ගිය අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50 ක ජයක් ලැබීය.

සිය මංගල ටෙස්ට් තරගයේදීම ජයග්‍රහණයක අත්දැකීම අත්කරගත් මැතිව්ස් එදා මෙදා තුර ටෙස්ට් පිටියේ අද්වීතීය ඉනිම කිහිපයක්ම ක්‍රීඩා කළ අයෙකි. 2014 ලීඩ්ස් ටෙස්ට් තරගයේදී මැතිව්ස් ලබාගත් ලකුණු 160, එම තරගයේදී පමණක් නොව තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට ගෙන ආ ඉනිමකි. ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම සිම්බාබ්වේ පිලට එරෙහිව හරාරේ නුවරදී නොදැවී ලකුණු 200 ක් ලබාගැනීම වූවත් වඩාත් මතකයේ රැඳි ඉනිම ලීඩ්ස් ඉනිමයි.

පසුගිය මැයි මාසයේදී මැතිව්ස් බංග්ලාදේශයට මහත් හිසරදයක් වූයේය. බංග්ලාදේශ සංචාරයේ පළමු තරගය පැවැති චැටෝග්‍රෑම්හිදී ලකුණු 199 ක් ලබා සිටියදී දැවී යන මැතිව්ස්, මීර්පූර් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 145 ක් ලබාගනී. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයේදී ලද කඩුලු 10 ක ජයක් තරගාවලියේ ජයත් අත්කරගන්නේ මැතිව්ස්ගේ ඉනිමෙනි.

ටෙස්ට් තරග 99 කදී ලකුණු 6876 ක් ලබාගෙන සිටින මැතිව්ස්ගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 45.23 කි. ඔහුගේ නම ඉදිරියෙන් සටහන් වී ඇති ටෙස්ට් ශතක සංඛ්‍යාව 13 කි. අර්ධ ශතක සංඛ්‍යාව 38 කි. මේ සංඛ්‍යාත්මක දත්ත මැතිව්ස්ගේ ඉදිරිය සම්බන්ධයෙන් පැහැදිළි අනාවැකියක් කියයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙමින්, එංගලන්තයේදීම එංගලන්තය පරාජය කරමින් ටෙස්ට් තරගාවලියක් ජයගැනීමත්, වසර 2016 දී ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේදී 3-0 ක් ලෙසින් ඕස්ටේ්‍රලියානුවන් පරජය කිරීමත් මැතිව්ස්ගේ ටෙස්ට් තරග දිවියේ අනුස්මරණීය මතක සටහන් දෙකකි.

මේ දෙකට අමතරව, තවත් බොහෝ සුන්දර මතක සටහන් ඇති නමුත්, තවමත් සම්පූර්ණ නොකළ, තවත් එක් ටෙස්ට් ඉලක්කයක් මැතිව්ස්ට තිබේ. ඒ ටෙස්ට් ලකුණු 10,000 ක් ලබාගැනීමයි.  එය ඕනෑම සාර්ථක ටෙස්ට් පිතිකරුවකුගේ සාධාරණ ඉලක්කයකි.

මැතිව්ස් තම ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් උනන්දු වන, කර්ය බහුල ක්‍රීඩකයෙකි. ක්‍රිකට් ගැන වගේ වගක් නොතිබූ කොරෝනා වසංගතයේ උපරිම බලපෑම පැවැති කාලයේදී පවා මැතිව්ස් තනිවම පුහුණුවීම් කළේය. ව්‍යායාම කරමින් ශාරීරික යෝග්‍යතාව නිසි මට්ටමේ පවත්වා ගත්තේය.

“මගේ ශාරීරික යෝග්‍යතාව උපරිම වශයෙන් පවත්වා ගැනීමටත්, ඒ වගේම දිගින් දිගටම ලකුණු අතර රැඳී සිටීමටත් මම පුළුවන් තරම් උත්සාහ කරනවා.... එහෙම වුණොත් මගේ ඊළඟ ඉලක්කය වන ටෙස්ට් ලකුණු 10,000 ඉලක්කය කරා යන්න මට අපහසු වන එකක් නෑ” යයි මැතිව්ස් කීවේය. එහෙත් පරහට ඇත්තේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග හිඟ වීමයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හෙට ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව, ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ටෙස්ට් තරගයක් තිබෙන්නේ ලබන වසරේ මාර්තු මාසයේදීය. මේ වන විට 35 හැවිරිදි වියේ පසුවන මැතිව්ස්, ඉදිරි වසර 3 ක පමණ කාලයේදී සිය ලකුණු ලබාගැනීම වඩාත් වේගයත් කළ යුතුව තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්  යනු හුදෙක් පිතිකරුවකු පමණක් නොවේ. ඔහු ඉදිරිපෙළ පන්දු යවන්නකු මෙන්ම විශිෂ්ට ගණයේ පන්දු රකින්නකු ද වී සිටියේය.

 2009 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව් පිලට එරෙහිව පැවැති මූලික වටයේ තරගයේදී හතරේ සීමාව අසළ සිටි මැතිව්ස් කළ ඇදහිය නොහැකි පන්දු රැකීම හේතුවෙන් ක්‍රිකට් නීතියක් සංශෝධනය කිරීමට පවා එම.සී.සී. (මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය) ට සිදුවිය. පන්දුව හතරේ සීමාව පසුකිරීම සම්බන්ධයෙන් වූ එම නීතිය 2010 වසරේ ඔක්තෝබර් මස 01 වැනිදා සිට බලපැවැත්වෙයි.

මැතිව්ස් ඉතාමත් දක්‍ෂ පන්දු යවන්නකු ද වි සිටියේය.

2009 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ආරම්භක ඕවරය යැවූ මැතිව්ස් සිය ඕවරය අවසන් කරන විට කොදෙව් ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 01 කට කඩුලු 3 ක් ලෙසිනි. සේවියර් මාෂල්, ලෙන්ඩ්ස් සිමන්ස් සහ ඩ්වේන් බ්‍රාවෝ යන තිදෙනාම එදා මැතිව්ස්ගේ පළමු ඕවරයේදීම, ලකුණු නොලබා දැවී  ගියහ.
 
2014 ලීඩ්ස් ටෙස්ට් තරගයේදී මැතිව්ස් කළ පන්දු යැවීම, එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ මතකයේ අදටත් රැඳී තිබේ.

එදා ලීඩ්ස් ටෙස්ට් තරගයේ එක් අවස්ථාවකදී කඩුලු 3 කට ලකුණු 311 ක් ලබා සිටි එංගලන්තය ලකුණු 365 කට දැවී යන්නේද මැතිව්ස්ගේ පන්දු යැවීම හේතුවෙනි. එහිදී ඔහුගේ පන්දු යැවීම සටහන් වන්නේ 16-4-44-4 ලෙසිනි. පසුව ඊළඟ ඉනිමේදී ලකුණු 160 ක් ලබාගන්නා ශ්‍රී ලංකා නායකයා, තරගයේ වීරයා සම්මානයද තමන් සතුකරගනී.

අවාසනාවකට මෙන්, ඔහුගේ කලවයේ අභ්‍යන්තර මස්පිඬුව අකලට ඉරී නොගියා නම් ටෙස්ට් පිටියේ සාර්ථක පන්දු යැවීම් කිහිපයක්ද මැතිව්ස්ගෙන් දැකගන්නට තිබිණ. එහෙත්, ඇන්ජලෝ මැතිව්ස් නම් වූ පිතිකරුවා ආරක්‍ෂාකර ගැනීම සඳහා තමන් තුළ සිටි විශිෂ්ට පන්දු යවන්නාත්, පන්දු රකින්නාත් යන දෙදෙනාම බිළිදීමට මැතිව්ස්ට සිදුවිය.

එය වෛද්‍යවරුන්ගේ සහ භෞත චිකිත්සකවරුන්ගේ උපදෙස්මත ගත් තීරණයකි. අනෙක් අතට දෙවියන් එකක් දෙන කොට තවත් එකක් උදුරා ගන්නා බවද ප්‍රකට මතයකි.

වසර 2013 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලාබාළතම නායකයා වන විට ඇන්ජලෝ මැතිව්ස්ගේ වයස යන්තම් අවුරුදු 25 කි. තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තාවකාළිකව බාරගත් මහේල ජයවර්ධන 2012 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව නායකත්වයේ කටු ඔටුන්න බිම තැබීය.

කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයීය කණ්ඩායමේත් නායකත්වය දැරූ මැතිව්ස්ට කටු ඔටුන්න බරක් නොවේ. ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමද මෙහෙය වූ මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා ජාතික කණ්ඩායමට පිවිසෙන විටම ඔහුගේ ගමන් මග කුමක් විය හැකිද යන්න ක්‍රිකට් ක්ෂේත්‍රයේ අය දැන සිටියහ. නායකත්වය කිසිම ආකාරයකින් මැතිව්ස්ට බරක් නොවූයේ, ඔහුගේ හොඳම දස්කම් පැමිණියේ නායකයකු ලෙසින් සිටි කාලයේදී බැවිනි.

කලක් තිස්සේ අංක 6 ස්ථානයේ පන්දුවට පහර දෙමින් සිටි මැතිව්ස්, ඉතාම හොඳ තරග නිමා කරන්නෙකි. එහෙත් පසුපෙළ පිතිකරුවන් දැවී යාමෙන් ඔහුගෙන් ලබාගත හැකි ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා පිලට අහිමි විය. එබැවින් මැතිව්ස් මේ වන විට පිතිකරු ලයිස්තුවේ අංක 4 ස්ථානයේ ස්ථාවර වී සිටී.

මහේල ජයවර්ධන වසර 2014 දීත්, කුමාර් සංගක්කාර වසර 2015 දීත් ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව තරුණ කණ්ඩායමක් සමගින් ඉදිරියට යාමේ වගකීම මැතිව්ස් මත පැටවිණ. ඕස්ටේ්‍රලියානුවන් පළමු වරට ආසියාවේදී 3-0 ක ටෙස්ට් තරගාවලි පරාජයකට මුහුණ දෙන්නේ මැතිව්ස්ගේ කණ්ඩායම හමුවේදිය. එහෙත් කණ්ඩායම් කළමණාකාරීත්වයේ ඇතිවූ වෙනස්කම් හේතුවෙන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා සිය තනතුර අතහැර නොකියාම යන්න යාම මැතිව්ස්ගේ ඉදිරි ගමනට දරුණු බාධාවක් වූයේය.

ප්‍රශ්න පිට ප්‍රශ්න තිබුණත්, ඒ සියල්ල ඉවසා සිටි මැතිව්ස්ගේ ඉවසීම 2017 දී සීමාව ඉක්මවා ගියේය. බොහෝ දෙනා එපා කියද්දීත් නායකත්වය අතහැර දැම්මේය.

ටෙස්ට් නායකයකු ලෙසින් මැතිව්ස්ගේ වාර්තාව සටහන් වන්නේ තරග 34 කින් ජයග්‍රහණ 13 ක් ලබා, තරග 6 ක් ජය පරාජයෙන් තොරව නිමාකරගත්, තරග 15 ක් පරාජය වූ නායකයකු ලෙසිනි. එහෙත් මැතිව්ස්ට තම නායකත්වයේ කාර්යභාරය නිදහසේ කරගෙන යන්නට තිබුණේ නම්, ක්‍රිකට් බලධාරීන් ඔහුට ඇහුම්කන් දුන්නේ නම්, ඔහුගේ නායකත්වයේ වාර්තාව පමණක් නොව, ශ්‍රි ලංකා කණ්ඩායමේ තරග ප්‍රතිඵල වාර්තාවද අදට වඩා බොහෝ යහපත් වන්නට තිබිණ.


අදහස් (0)

ටෙස්ට් ලකුණු 10,000 ට ඉලක්කය අල්ලන මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.