Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම කඩයිම

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම කඩයිම

editorial - 2021 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සියවස් එක හමාරකට ආසන්න (වසර 144 ක්) ඉතිහාසයක් ඇති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අලුත්ම දෘෂ්ටිකෝණයකින් බැලෙන, ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහ තරගය හෙටයි. ඒ සඳහා ඉන්දියානු සහ නවසීලන්ත කණ්ඩායම් හෙට පිටියට පිවිසෙති. 

එංගලන්තයේ සදම්ප්ටන් නුවරට කිලෝමීටර 15 ක් පමණ ඈතින් පිහිටි, ඒජස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ක්‍රිකට් ක්‍රීඩාවේ පැරණිතම ආකෘතිය සම්බන්ධයෙන් අලුත්ම පණිවුඩයක් ගෙනෙනු ඇත. 

නවසීලන්ත කණ්ඩායම තරගයට පිවිසෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර වූ එංගලන්තයේදීම එංගලන්ත කණ්ඩායම 1-0 ක් වශයෙන් පරාජය කිරීමෙන් පසුවය. ඉන්දීය කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළේ මීට මාස කිහිපයකට ඉහත (මාර්තු මාසයේදී) වුවත් ඉන්දියාවේ පන්දු යැවීමේ අංශය පහසුවෙන් අමතක කළ හැක්කක් නොවේ. 

“එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී තරග දෙකක් ක්‍රීඩා කිරීම නිසා අපිට නම් ඉතාම හොඳ සූදානමක් ලැබුණා. මීට වඩා හොඳ සූදානමක් බලාපොරොත්තු වෙන්නත් බැරි තරම්” යයි නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායකයා මෙන්ම දැනට කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන රොස් ටේලර් කියයි. වෙනස්කම් 6 ක් සමගින් බර්මින්හැම් ටෙස්ට් තරගය ජයගත් නවසීලන්ත කණ්ඩයම අවසන් මහ තරගය සඳහා නායක කේන් විලියම්සන් මෙන්ම කඩුලු රකින්නා වන බී.ජේ. වොට්ලිං ද, වේග පන්දු යවන ටිම් සවුතිද නැවතත් කැඳවා තිබේ. 

නවසීලන්තයේ ජනගහණය යන්තම් මිලියන 5 ක් පමණි. එහෙත් ඉන්දියාවේ ජනගහණය එමෙන් 280 ගුණයකි. එනම් බිලියන 1.4 කට ආසන්නය. එසේ වුවත්, ලෝක ශූරතා අවසන් තරගයේදී, ඉන්දියාවෙන් පිටස්තර වැඩිදෙනාගේ අපේක්‍ෂාව වන්නේ නවසීලන්තයේ ජයග්‍රහණයයි. 

ක්‍රිකට් ක්‍රීඩාවේ සාරධර්ම ඉතාම ඉහළින් ආරක්‍ෂා කරමින් තරග වදින නවසීලන්ත කණ්ඩායම 2015 ලෝක කුසලාන (එක්දින) අවසන් මහ තරගයේදී මෙන්ම 2019 ලෝක කුසලාන අවසන් මහ තරගයේදීත් (අතිරේක ඕවරයේදී) පරාජය වීම ලෝ පුරා ක්‍රිකට් ලෝලීන්ගේ මහත් සංවේගයට කාරණාවක් විය. එහෙත් නවසීලන්ත නායක කේන් විලියම්සන් 2019 ලෝක කුසලාන පරාජය විඳ දරාගත් ආකාරය ක්‍රිකට් ලෝලීන්ට හොඳින්ම මතක තිබේ. 

ඉතාමත්ම ආසන්න අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව (ජූනි 13 වැනිදා) ටෙස්ට් ක්‍රිකට් හිණිපෙතේ අංක 1 ස්ථානය නවසීලන්තයටත් (ප්‍රසාද ලකුණු 123) අංක 2 ස්ථානය ඉන්දියාවටත් (ප්‍රසාද ලකුණු 121) හිමිවී තිබේ. ඒ අනුව ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගය සඳහා පිටියට පිවිසෙන්නේ හොඳම කණ්ඩායම් දෙකයි. 

මාස කිහිපයකට ඉහතදී අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළද පසුගිය ඕස්ටේ්‍රලියානු සංචාරයේදී ඉන්දීය ක්‍රීඩකයන් නැඟිසිටි ආකාරයෙන් තමන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ ප්‍රබලතම කණ්ඩායමක් බව ඉන්දියානුවෝ තහවුරු කළහ. එම සංචාරයේ පළමු තරගයේදී ලකුණු 36 කට දැවී ගිය ඉන්දීය කණ්ඩායම තරගාවලිය අවසන් කළේ බි්‍රස්බේන්හිදී අසීරු ඉලක්කයක් හඹා යමින් ලබාගත් ජයත් සමගින් ඕස්ටේ්‍රලියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගනිමිනි. 
විරාට් කෝලි, රෝහිත් ෂර්මා, අජින්ක්‍යා රහනේ වැනි පිතිකරුවන් මෙන්ම රවිචන්ද්‍රන් අශ්වින් සහ ජස්ප්‍රීට් බුම්රා වැනි පන්දු යවන්නෝ ඉන්දීය පිල වෙත ගෙනා ජයග්‍රහණ බොහොමයකි. 

“ඉන්දියාවේ පිතිකරුවන්ගේ ශක්තිය ක්‍රිකට් ලෝකයේ ඊර්ෂ්‍යවට පාත්‍ර වන තරමේ එකක්” යයි සුනිල් ගවස්කාර් මහතා කීවේ එබැවිනි. එසේ වුවත් වැඩි දෙනාගේ අවධානයට ලක් නොවන පුහුණුකරුවකු වන ගැරී ස්ටෙඩ් මහතාගේ ගුරුහරුකම් ලබන නවසීලන්තයද වසර 6 ක් තිස්සේ ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සමත් කණ්ඩායමකි. 

අවසන් තරගයේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ත්‍යාග මුදල ඩොලර් ලක්‍ෂ 16 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 32 කි. අනුශූරයන්ට හිමි ත්‍යාගය ඩොලර් ලක්‍ෂ 8 ක් හෙවත් රුපියල් කෝටි 16 කි. 

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක ශූරයන් සොයන්නට පළමු උත්සාහය ගත්තේ 1912 දීය. එම තරගාවලිය එංගලන්තය, ඕස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතර විය. එහෙත් එතැනින් පසුව ටෙස්ට් ලෝක ශූරතාවලියක් සම්බන්ධ සැලසුම් කෙරුණා මිස එය යථාර්ථයක් බවට පත් නොවීය. වසර 2008 දී ටෙස්ට් ලෝක  ශූරතාවලියක් ක්‍රියාත්මක වීම ආසන්නයටම පැමිණියද රූපවාහිනී නාළිකා හිමිකරුවන්ගේ අකමැත්ත මත එය යට ගියේය. 

එක අතකින් හෙට ඇරඹෙන ලෝක ශුරතාවලියේ අවසන් මහ තරගයේ ජයග්‍රාහකයා කවුරුන් වුවද එය වසර 144 ක ඉතිහාසයක් ඇති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණයක් බව නම් නිසැකවම කිවහැකිය. 

- සැකසුම : දමින්ද විජේසූරිය


අදහස් (1)

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම කඩයිම
  • sunil somasiri Thursday, 17 June 2021 09:41 PM

    ඉතා හොඳ ලිපියක්. මා වඩාත්ම කැමති කාරණය වන්නේ දැන් ක්‍රීඩා මාධ්‍යවේදීන්ට අමතකව ගොස් තිබෙන රටවල් දෙකේ ජනගහනය, ඔවුන්ගේ අපේක්ෂා, නවසිලන්ත කණ්ඩායමේ ඇති ජීව ගුණය වැනි දේවල් උදාහරණ සහිතව ඇතුළත් කර තිබීමයි. ජයවේවා...!!! 

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.