Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ගේල් යළිත් වැඩ අල්ලයි

ගේල් යළිත් වැඩ අල්ලයි

editorial - 2021 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කලකට පසුව ලකුණු අතරට පැමිණි ක්‍රිස් ගේල්ගේ (67) ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් තරග 2 ක් ඉතිරිව තිබියදීම තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වෝ සමත්වූහ. ශාන්ත ලුසියාහිදී සඳුද (12 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 තරගය කඩුලු 6 කින් ජයගත් කොදෙව්වෝ මේ වනවිට තරගාවලිය 3-0 ක් ලෙස ජයග්‍රහණය කර සිටිති.

 

ජයග්‍රහණය සඳහා ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් පිල ඕවර 14.5 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකර යෑමට සමත්විය. බටහිර ඉන්දීය කොදෙව් පිල 1995 න් පසුව ඕනෑම ආකෘතියක (ටෙස්ට්, එක්දින හෝ විස්සයි-20) එක් තරගයකට වැඩි තරගාවලියකදී ඕස්ට්‍රේලියාව පරාජයට පත්කළ පළමු අවස්ථාව ලෙසද මෙම ජයග්‍රහණය වාර්තා පොත් අතරට එක්වන්නේය.

මේ වසර මුලදී බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට එක්වීමෙන් පසුව ඉනිම 9 කදී ලකුණු 102 ක් පමණක් රැස්කර සිටි ගේල් 2016 වසරෙන් පසුව ලබාගත් පළමු අර්ධ ශතකය වාර්තා කිරීමටද සමත්විය. පන්දු 38 කදී දැවැන්ත හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 67 ක් රැස්කළ ගේල් කොදෙව් පිලේ ජයග්‍රහණයට අඩිතාලම දැමීය.

තාවකාලික නායක නිකලස් පූරන් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 41 කදී ලකුණු 67 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ගේල් සමත්විය. පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 32 ක් ලබාගත් නිකලස් පූරන් කොදෙව් පිල ජයග්‍රහණය කරා ගෙන ගියේය. රිලී මෙරඩිත් පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයට ලක්වුවද ලකුණු 48 කට කඩුලු 3 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාවට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 141 ක් පමණි. සිය ඕවර 4 ලකුණු 18 කට සීමාකළ හේඩ්න් වෝල්ෂ් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 141
(මැතිව් වේඩ් 23, ඒරන් ෆින්ච් 30, මොයිසස් හෙන්රිකස් 33, ඇෂ්ටන් ටර්නර් 24, හේඩ්න් වෝල්ෂ් 18/2)

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 14.5 කදී කඩුලු 4 ක් දැවී 142
(ක්‍රිස් ගේල් 67, නිකලස් පූරන් නොදැවී 32, රිලී මෙරඩිත් 48/3)

 

- 2079


අදහස් (0)

ගේල් යළිත් වැඩ අල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.