Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කුසල් මෙන්ඩිස්ට මුල් තරග අහිමි වෙයි
ක්‍රිකට්

කුසල් මෙන්ඩිස්ට මුල් තරග අහිමි වෙයි

editorial - 2022 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(ශානුක අරවින්ද)

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව මේ මස 11 වැනිදා සිඞ්නිහිදී පැවැත්වෙන පළමු විස්සයි-20 ක‍්‍රිකට් තරගය සඳහා කඩුලූ රකින ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව නායක දසුන් ශානක පවසයි. ඊයේ (7 වැනිදා) මුහුණදුන් රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයකදී කුසල් මෙන්ඩිස් ධනාත්මක ප‍්‍රතිඵල පෙන්වා තිබීම ඊට හේතුව ලෙස දසුන් සඳහන් කළේය. 

රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයේ ප‍්‍රතිඵල තහවුරු කර ගැනීම සදහා එදිනම කුසල් පී.සී.ආර්. පරීක්ෂණයකටද යොමුකර ඇති අතර එහිදී ඔහුට වයිරසය ආසාදනය වී ඇති බව සනාථ වී තිබේ. ඒ අනුව මේ වන විට කුසල් කණ්ඩායමෙන් ඉවත්ව නිරෝධායනය වෙමින් සිටින බවත්, ඔහුට තරගාවලියේ මුල් තරග කිහිපයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව අහිමිවන බවත් වාර්තාවේ. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද (8 වැනිදා) සවස පැවැති මාධ්‍ය හමුවේදී කළ විමසීම්වලදී දසුන් ශානක පිළිතුරු දුන්නේ අඩමානයෙනි. 

ඉකුත් වසරේ (2021) පැවැති එංගලන්ත සංචාරයේදී ජෛව බුබුළ කඩ කිරීම හේතුවෙන් වසරක ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටි කුසල්, මෙම වසරේ ජනවාරි මස 7 වැනිදා එම තහනමෙන් මිදුණ අතර ඉන් අනතුරුව ඔහු සහභාගි වන පළමු විදෙස් සංචාරය මෙය විය. මින් පෙර ජනවාරි මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරග 3 කට කී‍්‍රඩා කළ කුසල් එහිදී රැස්කළේ ලකුණු 69 ක් පමණි. 

කුසල්ට අමතරව දිනේෂ් චන්දිමාල් සහ කමිල් මිෂාරද කඩුලූ රකින කී‍්‍රඩකයන් ලෙස සංචිතයට ඇතුළත්ව සිටින බැවින් කුසල් ක‍්‍රීඩා නොකරන්නනේ නම් චන්දිමාල්ට කඩුලූ රකින්නාගේ වගකීම දැරීමට සිදුවනු ඇතැයිද දසුන් පැවසීය. කඩුලූ රකින්නා ලෙස කණ්ඩායමට ඇතුළත්වන චන්දිමාල්, බොහෝ දුරට ඔහු අංක 5 ස්ථානයේ පන්දුවට පහර දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. 

ආරම්භක පිතිකරුවන් කිහිප දෙනකුම සංචිතයට ඇතුළත්ව සිටින බැවින් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අරම්භක පිතිකරුවන් ලෙස කුමන ක‍්‍රීඩකයන් කටයුතු කරන්නේ දැයි නැගූ පැනයකට පිළිතුරු දෙමින් දසුන් කියා සිටියේ පසුගිය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ පැතුම් නිස්සංකගේ ස්ථානයේ වෙනසක් සිදුනොවන බවය. 

ජනවාරි මස සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී පැතුම් සමගින් ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ කුසල්ද මේ වන විට කොවිඞ් ආසාදිව සිටීම හේතුවෙන් මෙම තරගාවලියේ මුල් තරග කිහිපයේදී ධනුෂ්ක ගුණතිලක හෝ අවිෂ්ක ප‍්‍රනාන්දු කණ්ඩායමේ සෙසු ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කිරීමට වැඩි ඉඩක් ඇත. 

ලෝක කුසලාන තරගාවලියේදී අංක 3 ස්ථානයේ පන්දුවට පහරදෙමින් වඩාත් සාර්ථකත්වයක් පෙන්නුම් කළ චරිත් අසලංක එම ස්ථානයෙන් ඉවත් කිරීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බවද මාධ්‍ය හමුවේදී දසුන් කියා සිටියේය. දසුන්ගේ ප‍්‍රකාශයට අනුව බලන කළ ධනුෂ්ක සහ අවිෂ්ක දෙදෙනාගෙන් එක් අයෙකු ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කරයි නම් සෙසු පිතිකරුවාට අංක 4 ස්ථානයේ පන්දුවට පහරදීමට සිදුවනු ඇත. 

තරගයේ ස්වභාවයට අනුව සෙසු පිතිකරුවන්ගේ පන්දුවට පහරදීමේ ස්ථානවල වෙනසක් සිදුවිය හැකි බවත්, සුපුරුදු පරිදි තමා අංක 6 ස්ථානයේ පන්දුවට පහරදෙන බවත් එහිදී දසුන් වැඩි දුරටත් කියා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයේ සංයුතිය ලෝක කුසලාන තරගාවලියේදී පැවැති ආකාරයටම මෙම තරගාවලියේදීත් පවත්වාගෙන යෑමටද දසුන් බලාපොරොත්තුවෙන් සිටියි. 

ඒ අනුව විශේෂඥ වේග පන්දු යවන්නන් දෙදෙනකු, විශේෂඥ දඟ පන්දු යවන්නන් දෙදෙනකු සහ වේග පන්දු යැවීමේ හැකියාව ඇති තුන් ඉරියව් කී‍්‍රඩකයන් දෙදෙනකු සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී තරග වැදීමට නියමිත බව ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධානම දඟ පන්දු සුසංයෝගය වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ මෙම තරගාවලියේදීත් උපක‍්‍රමශීලී අයුරින් යොදාගැනීමට තමන් බලාපොරොත්තු වන බව නායකයා පැවසීය. 

කොවිඞ් වයිරසය ආසාදනය වී සිට ඉන් සුවය ලබා ඊයේ (7 වැනිදා) යළිත් කණ්ඩායම සමග එක්වූ නුවන් තුෂාරට සහ හෙට (9 වැනිදා) කණ්ඩායම සමග එක්වීමට නියමිත චාමික කරුණාරත්නට පළමු තරග සිටම කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව පවතින බවද දසුන් සඳහන් කළේය. තුෂාර මේ වන විටත් පුහුණුවීම් ආරම්භ කර ඇති අතර චාමිකටද පළමු තරගයට පෙර පුහුණුවීම් කිරීම සඳහා දින 2 ක් ඉතිරිව තිබේ. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ හැකියාව ඇති තුන් ඉරියව් කී‍්‍රඩකයන් දෙදෙනා ලෙස දසුන් ශානක සහ චාමික කරුණාරත්නද, විශේෂඥ වේග පන්දු යවන්නන් දෙදෙනාගෙන් කෙනකු ලෙස දුෂ්මන්ත චමීරද කටයුතු කරනු ඇත. කෙසේ වුවත් සෙසු වේග පන්දු යවන්නා ලෙස කණ්ඩායමට ඇතුළත්වීම සඳහා ළහිරු කුමාර, බිනුර ප‍්‍රනාන්දු, නුවන් තුෂාර සහ ශිරාන් ප‍්‍රනාන්දු අතර තියුණු සටනක් පවතී. 


අදහස් (2)

කුසල් මෙන්ඩිස්ට මුල් තරග අහිමි වෙයි
  • dickie bird Tuesday, 08 February 2022 08:20 PM

    තරග සියල්ලම අහිමි විය යුතුයි. කුසල් කණ්ඩායමට සාපයක්.

    Reply 0       0

    de silva Tuesday, 08 February 2022 10:52 PM

    ලෝක ලෙඩෙක්... අනිවාර්යයෙන්ම බබල් එකෙන් පැනලා රෝන්දේ යන්න ඇති. බබල් එකේ හිටියා නම් කොහොමද මොහුට පමණක් කෝවිඩ් හැදෙන්නේ..?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.