Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කුසල් ජනිත් තරගයට සූදානම්
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

කුසල් ජනිත් තරගයට සූදානම්

editorial - 2023 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(ශානුක අරවින්ද) 

බංග්ලාදේශයට එරෙහිව පළමු පෙරහුරු තරගයේදී උරහිසේ ආබාධයකට ලක්වූ ආරම්භක පිතිකරු කුසල් ජනිත්, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (7 වැනිදා) පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඞ් මහතා  පැවසීය. අද (6 වැනිදා) පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පුහුණු සැසියට සහභාගි වීමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී සිල්වර්වුඞ් මහතා මේ බව කියා සිටියේය. 

කුසල්  යළි කණ්ඩායම සමග එක්වීම තුළින් කණ්ඩායමේ පිතිකරු බලෑණිය තවත් ශක්තිමත් වනු ඇතැයිද එහිදී සිල්වර්වුඞ් මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 

පළමු පෙරහුරු තරගයේදී පන්දු 24 කදී හතරේ පහර 6 ක් සමග වේගවත් ලකුණු 34 ක් රැස්කළ කුසල් පෙරේරා, සිය උරහිසේ ආබාධය යළිත් මතුවීම හෛ්තුවෙන් පිටියෙන් ඉවත්ව ගියේය. ආබාධ තත්වය බරපතල නොවන බවට අනාවරණය වුවද, දෙවැනි පෙරහුරු තරගයේදීත් ඔහු පන්දුවට පහරදීම සඳහා පිටියට නොපැමිණියේය.

දෙවැනි පෙරහුරු තරගයේදී පැතුම් නිස්සංක සමගින් දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ නමුත් දිමුත්ට ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් හිමි නොවීය. එවැනි තත්වයක් මත ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ ශක්තිමත් කිරීම සඳහා කුසල් ජනිත්ගේ ආගමනය මනා රුකුලක් වනු ඇත. මේ දක්වා එක්දින තරග 109 කදී ශතක 6 ක් සහ අර්ධ ශතක 15 ක් සමග ලකුණු 3088 ක් රැස්කිරීමට කුසල් සමත්ව සිටියි. 

කෙසේ වුවත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අතරතුර කලවේ ආබාධයකට ලක්වූ පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට අද දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වන තරගයට ක්‍රීඩා කිරිමේ අවස්ථාවද අහමිවනු ඇතැයි සිල්වර්වුඞ් මහතා කියා සිටියේය. එක්දින තරග 27 කදී කඩුලු 28 ක් බිඳහෙළා ඇති තීක්ෂණ වෙනුවට පා දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත මෙම තරගයට ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතී. 

පෙරහුරු තරග දෙකේදීම ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ ප්‍රතිවාදී පිතිකරුවන්ගේ දැඩි පහර කෑමකට ලක්වූ අතර එහිදී කඩුල්ලකට වැඩියෙන් දවාගත හැකි වූ එකම පන්දු යවන්නා වූයේ ළහිරු කුමාර පමණි. කසුන් රාජිත, දුනිත් වෙල්ලාලගේ සහ දුෂාන් හේමන්ත කඩුල්ල බැගින් දවාගත්හ. එබැවින් දකුණු අප්‍රිකා තරගයේදී ශ්‍රී ලංකාවට තීක්ෂණගේ අඩුව තදින්ම දැනෙනු ඇත. 

“අපිට දැන් අබාධ ගැන ලතැවෙවි ඉන්න වෙලාවක් නෑ. අපි මේ ක්‍රීඩා කරන්නෙ ලෝක කුසලාන තරගාවලිය. මේ වෙලාවෙ අපි කරන්නේ හොඳින් ඉන්න ක්‍රීඩකයන් යොදවලා කොහොම හරි තරග ජයගන්නයි. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ හරියට කරනවා නම් ඕනෑම කණ්ඩායමක් පරාජය කරන එක අපහසු දෙයක් නෙමෙයි.” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධ ලැයිස්තුව සම්බන්ධයෙන් සිල්වර්වුඞ් මහතා පැවසීය. 

හෙට තරගය පැවැත්වෙන දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ තණතිල්ල සාමාන්‍යයෙන් පිතිකරුවන්ට වාසි දායක තණතිල්ලක් බැවින් මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදෙන කණ්ඩායම සෙසු කණ්ඩායමට හොඳ ඉලක්කයක් ලබා දෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව සිල්වර්වුඞ් මහතා පැවසීය. පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කර ඇති බැවින් ඔහුට ඉන්දියාවේ ක්‍රීඩාංගණ සම්බන්ධයෙන් ඇති දැනුම කණ්ඩායමට ඉතා වැදගත් බවද සිල්වර්වුඞ් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.   

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ දක්වා ලෝක කුසලාන තරග 6 ක් පැවැත්වී ඇති අතර ඉන් 4 ක්ම ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව තිබේ. ඊට අවසන් වරට පැවැති තරග 3 ද ඇතුළත්ය. 2003 වසරේදී දෙරට අතර පැවැති තරග සමව අවසන් වූ අතර ශ්‍රී ලංකාවට ජයගත හැකි වූයේ 1992 වසරේ දෙරට අතර පැවැති පළමු තරගය පමණි.          
                       

                                           
ශ්‍රී ලංකා සංචිතය 
දසුන් ශානක (නායක), කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, මතීෂ පතිරණ, ළහිරු කුමාර, දිල්ෂාන් මධුෂංක 

දකුණු අප්‍රිකා සංචිතය 
ටෙම්බා බවුමා (නායක), ක්වින්ටින් ඩි’කොක්, රීසා හෙන්ඩි්‍රක්ස්, ඒඞ්න් මාක්‍රම්, රාසි වැන්ඩර් ඩසන්, හෙන්රිච් ක්ලාසන්, ඇන්ඩිල් පෙලුක්වායෝ, ඬේවිඞ් මිලර්, මාකෝ ජැන්සන්, ජෙරල්ඞ් කොයෙට්සර්, කේෂව් මහරාජ්, ලුංග් න්ගිඩි, ලිසාඞ් විලියම්ස්, කගිසෝ රබාඩා සහ තබ්‍රේස් ශම්සි

 


අදහස් (2)

කුසල් ජනිත් තරගයට සූදානම්
  • sachith Saturday, 07 October 2023 11:04 AM

    දිනන්න තියෙන අවස්ථාවන් ගොඩක් අඩුයි. හැබැයි පැරදුණත් හොඳට ගහපල්ලා කොල්ලනේ..!

    Reply 0       0

    විජේ Saturday, 07 October 2023 11:59 PM

    පළවෙනි මැච් එක ෆේල්. ඉක්මනටම කොල්ලා ඉන්ජර්ඩ් වෙනවා. ඉන්ශූරන්ස් ක්ලේම් කරනවා, මේ පාරත් ගොඩ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.