Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියාවට සටනකින් තොර ජයක්
සිංහ - කැන්ගරු සටන

ඕස්ට්‍රේලියාවට සටනකින් තොර ජයක්

editorial - 2022 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 100 කට කඩුලු 1 ක් ලෙසින් සටහන්ව තිබියදී, පන්දු 6 කින් කඩුලු 3 ක් දවාගත් ජොෂ් හේසල්වුඩ්, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (07 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේ වාසිය එහෙම පිටින්ම ඕස්ට්‍රේලියානු පිල වෙත ඇද දුන්නේය. එම තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් ඩේවිඩ් වෝනර් (නොදැවී 70) සහ නායක ඒරන් ෆින්ච් (නොදැවී 61) දෙදෙනා කිසිදු සටනකින් තොරවම, කඩුලු 10 ක ජයක් කරා ඕස්ට්‍රේලියානු පිල කැඳවාගෙන ගියහ.

ඩේවිඩ් වෝනර්, ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පිට පිම ලබාගත් පස්වැනි විස්සයි-20 අර්ධ ශතකය මෙයයි. ශ්‍රී ලංකාවට එරෙහිව මුහුණ දුන් සිය අවසන් විස්සයි-20 තරග පහේදී ඩේඩිඩ් වෝනර්ගේ ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ නොදැවී 100 ක්, නොදැවී 60 ක්, නොදැවී 57 ක්, 65 ක් සහ නොදැවී 70 ක් ලෙසිනි. පන්දු 33 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ ඩේවිඩ් වෝනර්, හතරේ පහර 9 කින් සිය ඉනිම අලාකාර කළේය.

පසුගිය නොවැම්බරයේදී ලෝක කුසලාන දිනාගැනීමෙන් පසුව ඒරන් ෆින්ච් සහ වෝනර් දෙදෙනා එක්ව ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළ පළමු වතාව ද මෙයයි. දෙදෙනා පන්දුවට පහර දුන්නේ ඩුබායිහිදී නතර කළ තැනින් ආරම්භ කළ ලෙසිනි.

මහේෂ් තීක්‍ෂණ යැවූ ඕස්ට්‍රේලියානු ඉනිමේ පළමු ඕවරයේදීම ඒරන් ෆින්ච් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ යයි විනිසුරු කුමාර් ධර්මසේන මහතා තීරණය කළේය. එහෙත් එම තීරණය තුන්වැනි විනිසුරුවරයාට යොමු කළ ඕස්ට්‍රේලියානු නායකයා, ධර්මසේන මහතාගේ තීරණය වෙනස් කරවා ගත්තේය.

එතැන් සිට පසුපස නොබැලූ ඕස්ට්‍රේලියානු නායකයා, තම පිත්ත පැත්තට ඔසවා ගැසූ ‘අපර් කට්’ පහරකින් පන්දුව හතරේ සීමාවට ඉහළින් යැවූයේ, 14 වැනි ඕවරයේදී තරගයේ අවසානය සනිටුහන් කරමිනි. පන්දු 40 කින් පැමිණි ෆින්ච්ගේ ලකුණු 61 න් 40 ක්ම හයේ සහ හතරේ පහර විය.

මෙම තරගය සඳහා වේග පන්දු යවන්නන් තිදෙනකු තෝරාගැනීමට ඕස්ට්‍රේලියානු නායකයා ගත් තීරණය සම්පූර්ණයෙන්ම සාධාරණීකරණය කළ මිචෙල් ස්ටාක්, සිය ඕවර 4 දී කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 128 කට සීමා කළේය.

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 9 ම ලකුණු 28 ක් තුළදී ඇද වැටිණ. දෙදෙනකු දුවද්දී දැවී ගිය අතර ඉතිරි කඩුලු 8 ම වේග පන්දු යවන්නන් සතුවිය. තරගයේ මුල් ඕවර 10 දී ඔල්වරසන් හඬින් දෙවනත් වූ ප්‍රේමදාස ක්‍රීඩාංගණය, 12 වැනි ඕවරයෙන් පසුව මීයට පිම්බාක් මෙන් වූයේය.
 
ඩීප් මිඩි විකට් හි සිට ස්ටීවන් ස්මිත් වෙතින් පැතුම් නිස්සංකගේ උඩපන්දුව ගිළිහී යාම හැරෙන්නට සෙසු උඩපන්දු සියල්ලම ඕස්ට්‍රේලියානුවෝ කදිමට රැකගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ආරම්භයක් දුන් පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලක දෙදෙනා පන්දු 26 කින් ලකුණු 36 ක් එක්කළහ. එයින් පසුව පැමිණි චරිත් අසලංක සහ නිස්සංක එක්ව ලකුණු සංඛ්‍යාව 100 දක්වා ඉදිරියට ගෙන ගිය නමුත් මිචෙල් ස්ටාක් විසින් නිස්සංක දවාගනු ලැබීමත් සමගම තරගය තනි අතට ගත් ජොස් හේසල්වුඩ් ඊළඟ ඕවරයේදී කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්‍ෂ සහ දසුන් ශානක යන තිදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවීය.

ශ්‍රී ලංකා පිතිකරු ලයිස්තුවේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනකු වන මේ තිදෙනාටම ලබාගත හැකිවූයේ එක ලකුණක් පමණි. ශ්‍රී ලංකා පිතිහරඹයේ මැදපෙළ කඩා වැටීම මෙම පරාජයේ මූලික හේතුව විය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවැනි විස්සයි-20 තරගය හෙට (08 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි.

(ඡායාරූප - හිමත් මතීෂ)

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට සටනකින් තොර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.