Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියානුවෝ පළමු තරගය දිනති
ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා 1 වැනි වි20 තරගය

ඕස්ට්‍රේලියානුවෝ පළමු තරගය දිනති

editorial - 2022 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

ශ්‍රී ලාංකික පන්දු යවන්නන් සිය යුතුකම අකුරටම ඉටුකළ නමුත් පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති පළමු විස්සයි-20 අන්තර්ජාතික තරගයේදී ඕස්ට්‍රේලියානුවෝ, ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව, ලකුණු 20 ක පහසු ජයක් අත්කර ගත්හ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 149 කට සීමා වූ හෙයින් ශ්‍රී ලංකා පිතිකිරුවන්ගේ ඉලක්කය ලකුණු 150 ක් තරම පහසු එකක් විය. දෙවරක්ම වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ ඉලක්කය ඕවර 19 කදී ලකුණු 143 ක් ලෙසින් සංශෝධනය කෙරිණ.

පිතිකරුවන්ට යෝග්‍ය තණතිරුවකුදී එය අසීරු එකක් නොවේ. ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ප්‍රහාරාත්මක පිතිකරුවන් සිටින නමුත් ප්‍රහාරය දිගටම පවත්වාගෙන යාමේ නොහැකියාව විද්‍යමාන කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 කදී ලකුණු 122 කට සීමා විය.

ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු දෙදෙනාම පන්දු 9 ක් ඇතුළතදී දැවීයාම හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ ආරම්භය භයංකාර එකක් විය. නිසැකයෙන්ම හතරේ සීමාවට ඉහළින් පියාඹා යන පන්දුවක් උඩපන්දුවක් බවට පෙරළාගත් ස්ටිවන් ස්මිත් චරිත් අසලංකගේ ඉනිම අවසන් කළේ වෘත්තීය ක්‍රීඩකයන් වශයෙන් තමන් තුළ ඇති නිපුණතාව තවදුරටත් සනාථ කරමිනි. එම උඩපන්දුවත් සමගින් ලකුණු 64 දී පැතුම් නිස්සංක සහ චරිත් අසලංක දෙදෙනාම පිටියෙන් ඉවත් වූහ.

12 වැනි ඕවරය වන විට වර්ෂාව නැවත පැමිණියේය. ඩක්වර්ත් - ලුවිස් න්‍යාය සිහියට ගනිමින් දසුන් ශානක සහ වනිඳු හසරංග දෙදෙනා ලකුණු වේගය වැඩිකරගැනීමේ උත්සාහයක නිරත වූවද ප්‍රතිඵලය වූයේ පන්දු 5 ක් ඇතුළතදී හසරංග සහ දසුන් දෙදෙනාම දැවී යාමයි.

කලක් තිස්සේ ඉදිරිපෙළ පිතිකරුවකුව සිටි දිනේෂ් චන්දිමාල්ට පිටියට පිවිසීමට පස්වැනි කඩුල්ලත් බිඳ වැටෙන තුරු බලා සිටීමට සිදුවිය. අවසානයේදී හුදෙකළා සටනක නිරත වූ චන්දිමාල් පන්දු 16 කින් ලකුණු 25 ක් ලබාගත් නමුත් එය තනිව කළ හැකි සටනක් නොවීය.

ඕස්ට්‍රේලියානු පිතිහරඹය කදිමට දමනය කරගත් වනිඳු හසරංග, බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න තිදෙනා, ඕස්ට්‍රේලියානු පිතිකරු හමුදාව ලකුණු 149 කට නතර කරගත්හ.

ආරම්භක පිතිකරු බෙන් මැක්ඩොමට් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ නමුත් මැක්ඩොමට් දැවීයාමත් සමගම ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරගයේ පාලනය සියතට ගත්හ.

80 දශකයේදී ඕස්ට්‍රේලියානු පිලේ සිටි ප්‍රබලතම වේග පන්දු යවන්නකු වූ ක්‍රෙග් මැක්ඩොමට්ගේ පුතණුවන් වන බෙන්, සිය මංගල විස්සයි-20 අන්තර්ජාතික ශතකය පන්දු 38 කදී සම්පූර්ණ කළේ හතරේ පහර 2 ක් සහ දැවැන්ත හයේ පහර 3 ක් ඊට ඇතුළත් කරමිනි.

චාමික කරුණාරත්නගේ පන්දුවක් කඩුල්ලට යා නොදී පා ආවරණයෙන් මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය අවස්ථාවේදී සිය සහායක පිතිකරුවා සමගින් මඳක් සාකච්ඡා කළ බෙන් විතීවි සහාය ඉල්ලා සිටියේය. එහෙත් ඒ වන විට ඔහු නියමිත කාලය ගෙවාදමා තිබු බැවින් බෙන්ට විනිසුරු අවසරය නොලැබිණ.

විතිවි අවසරය කෙසේ වෙතත් චාමික කරුණාරත්නගේ පන්දුව මැක්ඩොමට්ගේ පා ආවරණයේ නොවැදුණා නම් ඔහුගේ පා ඉන්න බිඳ දමන බව පන්දුවේ ගමන් මන නිශ්චය කෙරෙන තාක්‍ෂණයෙන් කදිමට නිරූපනය වී තිබිණ. බිග් බෑෂ් ලීගයේදී ලකුණු 577 ක් ලබාගනිමින්, එහි වැඩිම ලකුණු ලාභියා වූ මැක්ඩොමට්ගේ ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය (පන්දු 100 කින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව) 154 කි.

ජොෂ් ඉංග්ලිෂ් සහ බෙන් මැක්ඩොමට් දෙදෙනා පිටියේ සිටියදී හොඳ වේගයකින් ලකුණු ගලා ආ නමුත් ඉංග්ලිෂ්ගේ දැවීයාමත් සමගින් ලකුණු 27 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ වැටිණ. මෙම කාලසීමාවේදි අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග (38/3) සහ චාමික කරුණාරත්න (22/2) දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් තරගයට ඇදගෙන ආහ.

පන්දු 17 කින් ලකුණු 30 ක් උදුරාගත් මාකස් ස්ටොයිනිස් අනුකම්පා විරහිත පිතිහරඹයක යෙදෙමින් ශ්‍රී ලංකා ඉලක්කය ඈතට ඇදගෙන යාමේ උත්සාහයක නිරත විය. එහෙත් දසුන් ශානකගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමත්, බිනුර ප්‍රනාන්දුගේ පන්දු දෙකක වික්‍රමයත් හේතුවෙන් එය අසාර්ථක විය.

ස්වීපර් කවර් ස්ථානයේ පන්දු රකිමින් සිටි දසුන් ශානක ඉදිරියට දිව ඇවිත්, එයද ප්‍රමාණවත් නොවූ හෙයින් ඉස්සා පනින්නාක් මෙන් පන්දුව වෙත පැන මැතිව් වේඩ්ගේ උඩපන්දුව රැකගත්තේ පන්දු යැවූ බිනුර ප්‍රනාන්දු පවා වික්ෂිප්ත කරමිනි. ඔහුගේ ඊළඟ පන්දුව ස්ටොයිනිස්ගේ පන්දු 17 ක ඉනිම නිමා කළේය.

කුසල් මෙන්ඩිස්ට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් නැවතත් කඩුල්ල පිටුපසට පැමිණියේය. පැවැති වැසිබර කාලගුණය හේතුවෙන් කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා, කිසිම පැකිලීමකින් තොරවම, පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තේය.

 

- 213


අදහස් (1)

ඕස්ට්‍රේලියානුවෝ පළමු තරගය දිනති
  • Sk Friday, 11 February 2022 08:03 PM

    නායකයාගේ අලස පිතිකරණයත්, චන්දිමාල් පසුපසට දැමීමත් නිසා තරගය පරාජය විය.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.