Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව සාම්ප්‍රදායික උපායම
සිංහ - කැන්ගරු සටන

ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව සාම්ප්‍රදායික උපායම

editorial - 2022 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පළමු වැනි විස්සයි-20 තරගයේදී ඕස්ට්‍රේලියානුවන් තම කණ්ඩායමට වේග පන්දු යවන්නන් තිදෙනකු එකතු කරද්දී, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණතීරුව අඩු ඉපිළීමකින් යුත්, මන්දගාමී එකක් යයි ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම් දෙකේම නායකයා වන දසුන් ශානක කීවේය. එය, ආසියානු කලාපයෙන් පිටත සිට පැමිණෙන ඕනෑම කණ්ඩායමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික උපක්‍රමයකි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය හෙට (07 වැනිදා) පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය. තරගය සඳහා සියලුම ප්‍රවේශපත් මේ වන විටත් විකිණී අවසන් වී තිබේ.

ශ්‍රී ලංකා සංචිතයේ සිටින්නන්ගෙන් වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ මහේෂ් තීක්‍ෂණ යන තිදෙනාම නිමාවූ අයි.පී.එල්. තරගාවලියේදී පන්දු යැවූහ. තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නත් කොල්කටා පිල නියෝජනය කළ නමුත් ඔහුට තරග කිරීමේ අවස්ථාව නොලැබිණ. විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ එතෙක් - මෙතෙක් සාර්ථකම වේගපන්දු යවන්නා ලෙසින් සැලකෙන ලසිත් මාලිංග, තමන් පන්දු යැවූ ආකාරයෙන්ම පන්දු යවන නුවන් තුෂාර සහ මතීෂ පතිරණ දෙදෙනාගේ පුහුණුකරුවා වී සිටී.

තරගයේ ජයග්‍රහණය ඇත්තේ පිතිකරුවන් අතය. එනම් දෙපිළේම කොයි තරම් පන්දු සංඛ්‍යාවක් නිළකුණු පන්දු වන්නේද නැද්ද යන්න මතය. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇත්තේ පිතිකරුවන් සම්බන්ධ ප්‍රශ්නයක් මිස පන්දු යවන්නන් කවුරුන්ද යන ප්‍රශ්නය නොවේ.

ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව පසුගිය පෙබරවාරියේදී පැවැති තරග 5 කදී ඕස්ට්‍රේලියානුවන් විසින් අපතේ යවන ලද නිළකුණු පන්දු 197 ට සාපේක්‍ෂව, ශ්‍රී ලාංකික පිතිකරුවන් විසින් නිළකුණු පන්දු 234 ක් අපතේ යවා තිබිණ.

පැතුම් නිස්සංකගේ ආරම්භක පිතිකරුවා කවුරුන්ද යන්න තවමත් තීරණයක් නැතත් බොහෝ විට එම අවස්ථාව ධනුෂ්ක ගුණතිලකට හිමිවීමට ඉඩ තිබේ. අංක 3 ස්ථානය චරිත් අසලංකටත්, කඩුලු රකින්නාගේ වගකීම මෙන්ම අංක 4 ස්ථානයත් කුසල් මෙන්ඩිස්ටත් හිමිවන්නේ නම් සෙසු පිතිකරු ලයිස්තුව සාදාගැනීම අසීරු කාරණයක් ද නොවේ.

ඕස්ට්‍රේලියානු පිලේ නමගිය වේග පන්දු යවන්නෝ තිදෙනෙකි. මිචෙල් ස්ටාක්, කේන් රිචඩ්සන් සහ ජොෂ් හේසල්වුඩ් යන මෙම වේග පන්දු යවන්නන් තිදෙනාට අමතරව, මිචෙල් මාෂ් සහ මාකස් ස්ටොයිනිස් දෙදෙනාටත් පන්දුවේ මැස්ම හොඳින් උපයෝගී කරගනිමින් තරමක් වේගයෙන් පන්දු යැවිය හැකිය.

ඕස්ට්‍රේලියානුවන් විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් පසුගිය ඔක්තෝබරයේදී, ඩුබායි සහ අබුඩාබි නුවර වලදී පැවැති මන්දගාමී තණතීරුවලදීත්  ඕස්ට්‍රේලියානුවන්ගේ සාර්ථකත්වය වූයේ මෙම සංයුතියයි. කණ්ඩායමට එක්ව සිටින එකම දඟ පන්දු යවන්නා වන ඇෂ්ටන් ආගර්, පසුගිය පෙබරවාරියේදී ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භක පිතිකරුවාගේ භූමිකාවත් කළේය.

“අපි ඒ තරම් විශාල දඟ කැවීමක් බලාපොරොත්තු වන්නේ නෑ. මොකද පසුගිය දවස් වල වැස්ස තිබුණා. තණතීරුවත් කොළ පාටයි. අනෙක හතරේ සීමාව අවටත් හුඟක් තෙතබරිතයි”

“කොහොම වුණත්, මේක වියළි තණතීරුවක් නෙමේ” යයිද ඕස්ට්‍රේලියානු නායකයා පැවසීය. අවශ්‍ය වුවහොත් ග්ලෙන් මැක්ස්වෙල්ට වුවද දඟ පන්දු යැවීමේ අභියෝගය බාරගත හැකිය.

දිගු කාලයකට පසුව, සියලුම ශ්‍රී ලාංකික පේක්‍ෂකයන්ට තරග නැරඹීමේ අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් සීමිත ඕවර කණ්ඩායම් දෙකටම සුබ පතමින්, ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක දිමුත් කරුණාරත්න සිය ප්‍රසාදය පළකර සිටියේය.

“කොරෝනා හින්දා අපට ගොඩාක් දේවල් නැතිවුණා. විශේෂයෙන්ම ප්‍රේක්‍ෂකයන්ගේ සහයෝගය. ඒ හින්දා මේ තරගාවලියේදී අපට ප්‍රේක්‍ෂක සහයෝගය ගොඩාක් වැදගත් වෙනවා” යයි ද දිමුත් පැවසීය.

“ක්‍රිස් සිල්වර්වුඩ් කියන්නේ ටිකක් තැන්පත් තැනැත්තෙක්. මිකී ආතර් එක්ක ගත්තාම ගොඩක් වෙනස්. බංග්ලාදේශ තරගාවලියේදී අපි කලබල වෙච්ච අවස්ථා තිබුණා. ඒත් ක්‍රිස්ට දැනුමක් තිබුණා ඒ වගේ අවස්ථාවල් හසුරුවා ගන්නේ කොහොමද කියලා” යයිද දිමුත් කරුණාරත්න පැවසීය.


ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්‍ෂ, නුවනිඳු ප්‍රනාන්දු, ළහිරු මධුශංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, නුවන් තුෂාර, මතීෂ පතිරණ, රමේෂ් මෙන්ඩිස්, මහේෂ් තීක්‍ෂණ, ප්‍රවීන් ජයවික්‍රම සහ ලක්ෂාන් සඳකැන්.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම
ඒරන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, ඇෂ්ටන් ආගර්, මිචෙල් ස්ටාක්, කේන් රිචඩ්සන් සහ ජොෂ් හේසල්වුඩ්

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව සාම්ප්‍රදායික උපායම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.