Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාව ලකුණු 191 කට සීමාවෙයි

ඉන්දියාව ලකුණු 191 කට සීමාවෙයි

editorial - 2021 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පතව්දි කුසලාන තරගාවලියේදී දිගින් දිගටම ඉන්දියානු පිතිකරුවන් අමාරුවේ දමමින් සිටි එංගලන්ත වේග පන්දු යවන්නෝ අද දිනයේදීත් එයම කරමින් සිව්වැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ තේ පානයෙන් පසුව ලකුණු 191 කට ඉනිම අවසන් කිරීමට සමත්වූහ. ලන්ඩන් ඕවල් පිටියේදී අද ආරම්භ වූ මෙම තරගයේදී තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල කඩුලු 6 ක් දැවී ලකුණු 122 ක් ලබා සිටියද තේ පානයෙන් පසුව තවත් ලකුණු 69 ක් තුළ ඉතිරි කඩුලු 4 ද ඔවුන්ට අහිමිවූහ.

විරාට් කෝලි සිය දෙවැනි අර්ධ ශතකය ලබාගත් නමුත් ඔහුට ලකුණු 50 ට වඩා ලබාගැනීමට ඔලී රොබින්සන් ඉඩ නොතැබීය. වේගවත් පිතිහරඹයක නිරත වූ ශර්දුල් ඨාකූර් පන්දු 36 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 57 ක් රැස්කර සිටියදී ක්‍රීස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය..  

ජේ්ම්ස් ඇන්ඩසන් දැඩි ප්‍රහාරයකට ලක්කරමින් ඉන්දියානුවෝ ඉනිම ආරම්භ කළහ. ඇන්ඩසන්ගේ පළමු ඕවර 4 සටහන් වූයේ 4-0-20-0 ක් ලෙසිනි. එහෙත් වසරකට පසුව සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ක්‍රිස් වෝක්ස්, සිය පළමු ඕවරයේදීම රෝහිත් ෂර්මා දවාගැනීමෙන් පසුව ලකුණු 11 ක් ඇතුළත තවත් පිතිකරුවෝ දෙදෙනෙක් දැවී ගියහ.

මේ අතරවරයේදී ලෝකේෂ් රාහුල් දවාගැනීමට උත්සාහ කළ එංගලන්ත පිල වෙතින් විතීවි අවස්ථාවක් අපතේ ගියේය. රාහුල් එයින් බේරුනු නමුත් ඔලී රොබින්සන්ගේ ඊළඟ ඕවරයේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් කඩුලු 3 ක් දැවී ගිය හෙයින් අජින්ක්‍යා රහනේ සහ රිෂාබ් පන්ට් දෙදෙනාම ක්‍රීඩාගාරයේ සිටියදී රවීන්ද්‍ර ජදේජා පිටියට යැවිණ. එහෙත් ජදේජාට ලබාගත හැකිවූයේ ලකුණු 10 කි.

ජදේජාගෙන් පසුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි අජින්ක්‍යා රහනේ ලකුණු 14 කටත්, රිෂාබ් පන්ට් ලකුණු 9 කටත් පිටියෙන් ඉවත් කිරීමට ක්‍රෙග් ඕවර්ටන් සහ ක්‍රීස් වෝක්ස් සමත්වූහ. උමේෂ් යාදව්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 10 ක් පමණි.

ක්‍රීස් වෝක්ස්ට කඩුලු 4 ක්ද, ඔලී රොබින්සන්ට කඩුලු 3 ක්ද, ජේම්ස් ඇන්ඩර්සන් සහ ක්‍රෙග් ඕවර්ටන් අතර කඩුල්ල බැගින්ද බෙදී ගියහ.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි එංගලන්තය දිනය අවසන් කරන විට ලකුණු 53 කට කඩුලු 3 ක් අහිමිකරගෙන සිටියේය. ඩේවිඩ් මාලන් ලකුණු 26 ක් සහ ක්‍රෙග් ඕවර්ටන් ලකුණක්ද ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.

නායක ජෝ රූට් ලකුණු 21 ක් රැස්කර සිටියදී උමේෂ් යාදව්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් පිටියෙන් ඉවත්ව ගිය අතර ආරම්භක පිතිකරුවන්වූ රොරී බර්න්ස් ලකුණු 5 කටත් හසීඩ් හමීඩ් ලකුණු ලබාගැනීමටත් පෙර පිටියෙන් ඉවත් කිරීමට ජස්ප්‍රීට් බුම්රා සමත්විය.

මෙම තරගය සඳහා ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් දෙකක් කර තිබුණද ප්‍රවීණ පිට දඟ පන්දු යවන්නකු වන රවිචන්ද්‍රන් අශ්වින්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබිණ. මෙම තරගාවලියේ එකම තරගයකට හෝ ක්‍රීඩා කිරීමට අශ්වින්ට තවමත් අවස්ථාව ලැබී නැත. ඉන්දීය තේරීම් කමිටුව දිගින් දිගටම වේග පන්දු යවන්නන් කෙරේ විශ්වාසය තබා ඇති අතර උමේෂ් යාදව් සහ ශර්දුල් ඨාකූර් මෙම තරගයට කැඳවා සිටිති.

සෑම් කරන් සහ ජොස් බට්ලර් වෙනුවට ක්‍රිස් වෝක්ස් සහ ඔලී පෝප් දෙදෙනා එංගලන්ත පිලට කැඳවනු ලැබ සිටිති.


ඉන්දියාව - පළමු ඉනිම සියලුදෙනා දැවී 191 යි
(රෝහිත් ෂර්මා 11, ලෝකේෂ් රාහුල් 17, විරාට් කෝලි 50, රවීන්ද්‍ර ජදේජා 10, අජින්ක්‍යා රහනේ 14, ශර්දුල් ඨාකූර් 57, උමේෂ් යාදව් 10, ජේම්ස් ඇන්ඩසන් 41/1, ඔලී රොබින්සන් 38/3, ක්‍රිස් වෝක්ස් 55/4, ක්‍රෙග් ඔවර්ටන් 39/1)

එංගලන්තය - පළමු ඉනිම කඩුලු 3 ක් දැවී 53 යි

(ඩේවිඩ් මාලන් නොදැවී 26, ජෝ රූට් 21, උමේෂ් යාදව් 15/1, ජස්ප්‍රීට් බුම්රා 15/2)


- 213


අදහස් (0)

ඉන්දියාව ලකුණු 191 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.