Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාව 2-1 කින් එක්දින තරගාවලිය ජයගනී

ඉන්දියාව 2-1 කින් එක්දින තරගාවලිය ජයගනී

editorial - 2022 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණ‍යේදී ඊයේ (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබූ ඉන්දියාව, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් විය. තෙවැනි තරගයේ වීරයා ලෙස රිෂාබ් පාන්ට්ද, තරගාවලියේ වීරයා ලෙස හර්දීක් පාණ්ඩ්‍යාද සම්මාන ලැබූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 260 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 42.1 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. සිය මංගල එක්දින ශතකය ලබාගත් රිෂාබ් පාන්ට් පන්දු 113 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 16 ක් සමග‍ නොදැවී ලකුණු 125 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ලකුණු 72 කට කඩුලු 4 ක් බිඳ‍වැටී තිබූ අවස්ථාවේදී හර්දීක් පාණ්ඩ්‍යා (71) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කදී ලකුණු 133 ක සම්බන්ධතාවක් ගොඩනැගූ පාන්ට්, පාණ්ඩ්‍යාගේ දැවී යෑමෙන් පසු රවින්ද්‍ර ජදේජා (නොදැවී 07) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 56 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත් විය.

පන්දු 55 කට මුහුණදුන් පාණ්ඩ්‍යා හතරේ පහර 10 කින් සිය අර්ධ ශතකය සැරසු‍වේය.‍ නායක රෝහිත් ශර්මා පන්දු 17 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 17 ක්ද, විරාට් ‍කෝලි පන්දු 22 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 17 ක්ද ලබා සිටියදී රීස් ටොප්ලිගේ පන්දු හමුවේ දැවී ගියේය. ශිකර් ධවාන් එක් ලකුණකට දැවී ගියේද ටොප්ලිගේ පන්දුවක් හමුවේය.

ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 45.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 259 ක් ලබාගත්තේය. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ජොස් බට්ලර් පන්දු 80 කින් ලකුණු 60 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

ලකුණු 74 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී මුයින් අලී (34) සමග එක්ව පන්දු 84 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බට්ලර් සමත් විය. පන්දු 44 කදී වාර්තා වූ අලීගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. ලයෑම් ලිවිංග්ස්ටන් පන්දු 31 කින් ලකුණු 27 ක් රැස්කළේද හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ හර්දීක් පාණ්ඩ්‍යා නිලකුණු ඕවර 3 ක් සමග ඕවර 7 ක් යවමින් ලකුණු 24 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය. යුස්වේන්ද්‍ර චාහල් ලකුණු 60 කට කඩුලු 3 ක්ද, මොහොමඩ් සිරාජ් ලකුණු 66 කට කඩුලු 2 ක්ද දවාගනිමින් එංගලන්ත පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා පාණ්ඩ්‍යාට අනගි සහායකු දුන්හ.


එංගලන්තය - ඕවර 45.5 කදී සියලු දෙනා දැවී 259
(ජේසන් රෝයි 41, බෙන් ස්ටෝක්ස් 27, ජොස් බට්ලර් 60, මුයින් අලී 34, ලයෑම් ලිවිංග්ස්ටන් 27, ඩේවිඩ් විලී 18, ක්‍රේග් ඕවර්ටන් 32, හර්දීක් පාණ්ඩ්‍යා 24/4, ‍යුස්වේන්ද්‍ර චාහල් 60/3, මොහොමඩ් සිරාජ් 66/2)

ඉන්දියාව - ඕවර 42.1 කදී කඩුලු 5 ක් දැවී 261
(රෝහිත් ශර්මා 17, විරාට් කෝලි 17, රිෂාබ් පන්ට් නොදැවී 125, සූර්යකුමාර් යාදව් 16, හර්දීක් පාණ්ඩ්‍යා 71, රීස් ටොප්ලි 35/3)


-036


අදහස් (0)

ඉන්දියාව 2-1 කින් එක්දින තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.