Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අසලංකගේ අලංකාර පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව ජයගනී
විස්සයි-20 තරගාවලිය

අසලංකගේ අලංකාර පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව ජයගනී

editorial - 2023 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 196 ක් ලබාගැනීමෙන් පසුව, නවසීලන්ත පිතිකරුවෝ එය හඹා ගොසින් තරගය සම කළහ. එහෙත් කුසල් මෙන්ඩිස් (01) සහ චරිත් අසලංක (11) දෙදෙනා සුපිරි ඕවරයේ පන්දු 3 කින් ලකුණු 12 ක් උදුරාගනිමින් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී අද (02 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි20 තරගයේ සුපිරි ඕවරයේදී ශ්‍රී ලංකාව ජය ටැඹ කරා කැඳවාගෙන ගියහ.

ටෙස්ට් තරග දෙකත්, එක්දින තරගාවලියත් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර නවසීලන්ත සංචාරයේදී ලබාගත් පළමු වැනි ජයග්‍රහණය මෙයයි.

ඉෂ් සෝධි තරගය සම කිරීමෙන් පසුව සුපිරි ඕවරය යැවීමේ වගකීම මහීෂ් තීක්‍ෂණට බාර කෙරිණ. එහිදී ජේම්ස් නීෂම්ගේ උඩපන්දුවක් අති විශිෂ්ට අයුරින් රැකගත් මහේෂ් තීක්‍ෂණ, සිය අවසන් පන්දුවේදී මාක් චැප්මන් දවාගත්තේ තම ඕවරය ලකුණු 08 කට සීමා කරමිනි.
 
සුපිරි ඕවරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් මුහුණ දුන් පළමු පන්දුවටම ලකුණක් ලබා අනෙක් පැත්තට ගියේය. ඇඩම් මිල්න් යැවූ ඊළඟ පන්දුව ඕක්ලන්ඩ් පිටියේ නරඹන්නන් අතරට යැවූ චරිත් අසලංක, තුන්වැනි පන්දුවත් කඩුලු රකින්නාගේ හිසට ඉහළින් හතරේ සීමාවෙන් එපිටට යැවීය. එය නිපන්දුවක් වූයෙන් ලකුණු 05 ක් ලැබුණු අතර සුපිරි ඕවරයේ පන්දු 4 ක් ඉතිරිව තිබියදීම, ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයගත්තේය.

“ඒක හිස කෙස් කෙළින් කරන තාලේ තරගයක්” යයි තරගයෙන් අනතුරුව චරිත් අසලංක කීවේය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක ටොම් ලෙතම් කිසිම පැකිළීමකින් තොරව ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට යැව්වේ එක්දින තරගාවලියේදී ඔවුන්ට සිදුවූ දේ සියැසින් දුටු බැවිනි. ලෙතම්ගේ අපේක්‍ෂාව පරිදිම, පළමු පන්දුවේදී පැතුම් නිස්සංක දැවී ගිය නමුත් අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් එක්ව ප්‍රහාරාත්මක ඕවර 6 දී අවශ්‍ය මට්ටමට ලකුණු වේගය රඳවා ගත්හ. 6 වැනි ඕවරයේදී ධනංජය ද සිල්වා දැවී යන විටත් ලකුණු සංඛ්‍යාව 65 ක් විය.

එතැන් සිට එක්වූ කුසල් ජනිත් පෙරේරා (නොදැවී 53) සහ චරිත් අසලංක (67) දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ලකුණු සංඛ්‍යාව 160 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. පන්දු 41 කදී ලකුණු 67 ක් ලබාගත් අසලංකගේ ඉනිම හයේ පහර 6 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.

උරහිසේ ආබාධයකින් සුවය ලැබීමෙන් අනතුරුව, වසර එක හමාරකට පමණ පසුව ශ්‍රී ලංකා හිස්වැස්ම පැළැඳි කුසල් ජනිත් පෙරේරා අද ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වෙමින් සිය ලකුණු 53 ලබාගත්තේ පන්දු 45 කිනි. ඊට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වී තිබුණද අංක 3 පිතිකරුවා, 20 වැනි ඕවරය නිමා වන තුරුත් පිටියේ සිටියේය.

ශ්‍රී ලංකාවේ ලකුණු 196 හඹා යාම අසීරු ලෙසින් පෙනුණත්, පන්දු 13 කින් ලකුණු 26 ක් ලබාගත් රචින් රවීන්ද්‍ර, ඩැරිල් මිචෙල් (පන්දු 44 න් ලකුණු 66) සහ මාක් චැප්මන් (පන්දු 23 න් ලකුණු 33) එක්ව නවසීලන්ත කණ්ඩායම නැවතත් තරගයට කැඳවාගෙන ආහ.
 
නවසීලන්ත ඉනිමේ අවසන් ඕවරය ආරම්භ වන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 7 කට 184 ක් ලෙසිනි.

නවසීලන්තයට තරගය ජයගැනීමට නම් අවසන් ඕවරයේදී ලකුණු 13 ක් අවශ්‍ය වී තිබුණද දසුන් ශානක යැවූ අවසන් ඕවරයේදී රචින් රවීන්ද්‍ර දැවී ගිය බැවින් එය වඩාත් අසීරු අභියෝගයක් ලෙසින් දිස්විය. එහෙත් අවසන් පන්දුව නරඹන්නන් අතරට යැවූ ඉෂ් සෝධි තරගය සම කළේය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි විස්සයි-20 තරගය ලබන බදාදා (05 වැනිදා) ඩනෙඩින් නුවරදී පැවැත්වෙයි.


- 213


අදහස් (0)

අසලංකගේ අලංකාර පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.