Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අවසන් බලාපොරොත්තුවත් සිඳී යයි
එක්දින තරගාවලිය

අවසන් බලාපොරොත්තුවත් සිඳී යයි

editorial - 2023 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


එක්දින ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබූ අවසන් බලාපොරොත්තුවත් සී සී කඩවිසුරුවා දැමූ නවසීලන්ත දෙවැනි පෙළ ක්‍රීඩකයෝ, නවසීලන්තයේ හැමිල්ටන් නුවරදී අද (31 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදීත් කඩුලු 6 ක විශිෂ්ට ජයක් ලබාගත්හ. නවසීලන්තය 2-0 කින් එක්දින තරගාවලිය ජයගත්තේ ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් 8 දෙනකු අයි.පී.එල්. තරගාවලිය සඳහා ඉන්දියාවට ගොස් සිටියදීය.

මේ වන විට ලෝක කුසලාන සුපිරි ලීගයේ ප්‍රසාද ලකුණු පුවරුවේ 9 වැනි ස්ථානයට වැටී සිටින ශ්‍රී  ලංකා කණ්ඩායම, මේ වසර අගදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට නම් ලබන ජූනි සහ ජූලි මාසවලදී සිම්බාබ්වේහිදී පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරගාවලියට සහභාගි විය යුතුය. ජූනි මස 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ලෝක කුසලාන සුපිරි ලීග ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් කණ්ඩායම් 5 සමගින් ස්කොට්ලන්තය, ඕමානය සහ නේපාලය එක්වනු ඇත.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 157 ක් පමණි. නවසීලන්ත වේග පන්දු යවන්නන් හමුවේ ආ ගිය අත සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ, මැතිව් හෙන්රි (14/3), හෙන්රි ෂිප්ලේ (32/3) සහ ඩැරිල් මිචෙල් (32/3) තිදෙනාට කඩුලු 3 ක් බැගින් පූජා කළහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ පැතුම් නිස්සංක, පන්දු 64 කට පසුව දුවද්දී දැවී යන විට හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 57 ක් ලබා සිටියේය.

සිය පළමු ඕවරයේදීම ළහිරු කුමාර කඩුලු දෙකක් දවාගත් අතර 15 වැනි ඕවරය නිමාවීමටත් පෙර, ලකුණු 59 කට කඩුලු 4 ක් බිඳ වැටිණ. එහෙත් තත්ත්වය පාලනය කරගත් විල් යංග් සහ හෙන්රි නිකොල්ස් දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.

ඕවර 32.5 කදී තරගය නිමාවන විට නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 159 ක් රැස්කර තිබිණ. විල් යංග් නොදැවී ලබාගත් ලකුණු 86 ට හතරේ පහර 11 ක් ඇතුළත් විය.


- 213


අදහස් (0)

අවසන් බලාපොරොත්තුවත් සිඳී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.