Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියති. තවත් මාස දෙකකින් සාගතයක් නියත බව රජයේ බලධාරීහු මෙන්ම කෘෂි විශේෂඥයෝත් කියති. එහෙත් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර ලබන අඟහරුවාදා සහ බදාදා (07 සහ 08) පැවැත්වීමට නියමිත විස්සයි-20 ක්‍රිකට් තරග දෙකේම ප්‍රවේශපත්‍ර, විකිණීම ආරම්භ වී පැය 24 ක් යාමටත් මත්තෙන් අවසන් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා රුපියල් 300, 1500, 2500, 4000 සහ 5000 යන මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකිව තිබිණ. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා රුපියල් 300, 2000, 4000, 5000 සහ 6500 යන මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකිය.
පළමු තරග දෙක සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් විකිණීම සෙනසුරාදා උදෑසන ආරම්භ විය. එහෙත් සෙනසුරාදා පස්වරු 6.15 වන විට පළමු සහ දෙවැනි විස්සයි-20 තරග දෙකේම ප්‍රවේශපත් විකිණී අවසන් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
ඉතාම විශ්වාසකටයුතු ආරංචිමාර්ග වලින් දැනගත හැකි පරිදි, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත තුන්වැනි විස්සයි-20 තරගයේ ප්‍රවේශපත් වලින් 16,000 ක් පමණ දැනටමත් විකිණී අවසන් වී තිබේ. එහෙත් මහනුවර ක්‍රිකට් බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇත්තේ අඩුම තරමේ ප්‍රවේශපත් 20,000 ක් වත් මහනුවර ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් වෙන්කර තබන ලෙසසි. එම ප්‍රවේශපත් විකිණීම ආරම්භ වන්නේ ලබන 08 වැනිදාය.
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ ප්‍රේෂක ධාරිතාව 35,000 කි.
ශ්‍රී ලාංකිකයන්, කවදා, කොතැන, කුමන ආකාරයේ පීඩනයකට නතුව සිටියද, එම පීඩනයෙන් ඔවුන් මුදවාලීමේ පුදුමාකාර හැකියාවක් ක්‍රිකට් ක්‍රීඩාවට තිබේ. අනෙක් කුමන කාරණයේදී ඉස්මතු වූවත්, ක්‍රිකට් ක්‍රීඩාවේදී නම් ජාති, කුල හෝ ආගම් භේද නොසැලකේ. එය ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවටම ආවේණික වූත්, කිසිවකුට අත නොතැබිය හැකිවූත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හා බද්ධ වූ සුවිශේෂී ගුණාංගයකි.
වාහන වලට අවශ්‍ය ඉන්ධන සහ ඉවුම් පිහුම් කිරීමට අවශ්‍ය ගෑස් මිලදී ගැනීමේ පෝලිම් තවමත් අවසන් නොවී තිබියදීත්, ක්‍රිකට් තරග සඳහා ප්‍රවේශපත් මිලදී ගැනීමට පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේ දිගු පෝලිමක් දක්නට තිබිණ.
වසර 2020 මාර්තු මාසයේදී පැවැති ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් එක්දින සහ විස්සයි-20 තරගාවලියට පසුව එළැඹි කොරෝනා සමය හේතුවෙන් ක්‍රිකට් පිටියට පිවිසීමට ප්‍රේක්‍ෂකයන්ට අවසර නොලැබිණ. ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග කිහිපයක් මෙන්ම, එක්දින හා විස්සයි-20 තරග කිහිපයක් පැවැති නමුත්, ඒ සෑම අවස්ථාවකදීම ක්‍රීඩාංගණවල ප්‍රේක්‍ෂක දොරටු වසා දමා තරගාවලි පැවැත්විණ. එබැවින්, ශ්‍රී ලංකා - ඕස්ටේ්‍රලියානු තරගාවලිය, වසර දෙකකුත් මාස 3 කට පසුව, ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයන්ට ලැබෙන අවස්ථාවකි.
ඡායාරූපය - ප්‍රියංක සමරවීර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.