Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අබ්දුල්ලා - ඉමාම් - අසාම් පාකිස්තානය ඉදිරියට ගෙනයති
ගාල්ල ටෙස්ට් තරගය

අබ්දුල්ලා - ඉමාම් - අසාම් පාකිස්තානය ඉදිරියට ගෙනයති

editorial - 2022 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට)

ලකුණු 342 ක ඉලක්කයක් කරා යමින් සිටින පාකිස්තානු කණ්ඩායමේ ඉමාම් උල් හක් සහ අබ්දුල්ලා ෂෆීක් පළමු කඩුල්ලට ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ඉමාම් උල් හක් දැවී යාමෙන් පසුව අබ්දුල්ලට එක්වූ බාබර් අසාම්, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 101 ක් ගොනු කළේය. මෙම සම්බන්ධතා හේතුවෙන් ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (19 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට පාකිස්තානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 3 කට 222 ක් වී තිබිණ.

අපේක්‍ෂිත ඉලක්කය කරා යාමට පාකිස්තානු කණ්ඩායමට තවත් ලකුණු 120 ක් අවශ්‍යව තිබේ. ශ්‍රී ලංකාවට නම් කඩුලු 7 කි.

ප්‍රභාත් ජයසූරිය දිගින් දිගටම පිතිකරුවන්ගේ පා ඉන්න එල්ලයේ මෙන්ම ඊටත් එපිටින් පන්දුව පතිත කරමින් සිටියේය. පා දඟ පන්දු යවන්නන් එසේ කරනුයේ ලකුණු ගලායාම පාලනය කිරීමටත්, හිතුවක්කාර පහරකින් පා ඉන්න පැත්තේ සිටින පන්දු රකින්නන්ට උඩපන්දුවක් ලබාගැනීමේත් අපේක්‍ෂාවෙනි. එබැවින් පාකිස්තානු නායකයා පන්දුව වෙත තම පිත්ත නොදමා, පාදය පමණක් යොමුකළේය. එහෙත් බාබර් අසාම් මවිත කරමින් ඔහුගේ වම් පාදය පසුපසින් දඟකැවී කඩුල්ලට කඩාවැදුණු පන්දුව පාකිස්තානු නායකයගේ ඉනිම නිමා කළේය.

කිසිම අපහසුතාවකින් තොරව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මුහුණ දෙමින් සිටි අබ්දුල්ලා ශෆීක් සහ නායක බාබර් අසාම් දෙදෙනාම විනාඩි දෙකක් ඇතුළත ශතකය සහ අර්ධ ශතකය සම්පූර්ණ කළහ. පන්දු 238 කින් පැමිණි අබ්දුල්ලාගේ ශතකයට හතරේ පහර 5 ක් සහ හයේ පහරක් ඇතුළත් වී තිබිණ. ඒ වන විටත් අසාම් සහ ශෆීක් දෙදෙනා තමන්ගේ ඉලක්කයට ලකුණු 150 කින් පමණ මෑතින් සිටියහ.

තරගයෙන් පසුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු, පියල් විජේතුංග මහතා පැවසූයේ තණතීරුවේ ස්වභාවය හදිසියේම වෙනස් වූ බවත්, කඩුලු දවාගැනීම මෙන්ම ලකුණු ගලාඒම පාලනය කරගැනීමත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ තිබූ විශාල අභියෝගයක් වූ බවත්ය.

“මේ වගේ තණතීරුවකදී අපි ඒ ගොල්ලන්ගේ ලකුණු වේගය ඕවරයකට ලකුණු 2.61 ක් වගේ අගයක තියාගත්තා. ඒ අතින් බැලුවාම අපේ පන්දු යවන්නන් ගැන සතුටු වෙන්න පුළුවන්. ඇරත් ගාල්ල ක්‍රීඩාංගණයේ තරගයක් පැවැත්වෙද්දී අපි හැමෝම ඒ දිහා බලන්නේ එක විදිහකට. ඒත් හැමදාම එහෙම වෙන්නේ නෑ.. ක්‍රිකට් කියන්නේ ඒක තමයි” යයිද විජේතුංග මහතා මාධ්‍ය හමුවේ පැවසීය.

කෙසේ වෙතත් අද උදෑසන සිටම පාකිස්තානු කණ්ඩායමට වාසනාව අතවනන බවක් දක්නට තිබිණ. වාසනාව ශ්‍රී ලංකා පිල පැත්තේ තිබුණේ නම්, මුලු ලකුණු සංඛ්‍යාව 07 ක්ව තිබියදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම ආපසු ක්‍රීඩාගාරයට යැවීමේ අවස්ථා ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුණේය.

ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ අබ්දුල්ලා ශෆීක් කඩුල්ල ආවරණය කළේ යයි කළ තදබල ඉල්ලීමක් විනිසුරු කුමාර් ධර්මසේන මහතා විසින් ප්‍රතික්‍ෂේප කරන ලදි. එය විතීවි වෙත යොමු කෙරිණ. පන්දුව  කඩුල්ලේ යාන්තමින් වදින නමුත් එහි අවසන් තීරණය විනිසුරු ධර්මසේන මහතා සතුවිය.

කසුන් රාජිත යැවූ පන්දුවක් ඉමාම් උල් හක්ගේ පා ආවරණයේ වැදුණු අවස්ථාවේදී ඔහු දැවී ගිය බවට විනිසුරු මාරියස් එරැස්මස් මහතා තීන්දුව දුන්නේය. එහෙත් එය විතීවි වෙත යොමුකළ පිතිකරුවා සිය කඩුල්ල රැකගත්තේ කසුන් රාජිත යැවූ පන්දුව කඩුල්ලේ නොවදින බව තහවුරු කරමිනි.

කසුන්ගේ පන්දුවක් හමුවේ ඉමාම් උල් හක් දුන් උඩපන්දුව රැකගැනීමට දිනේෂ් චන්දිමාල් ආපසු හැරී දිවගිය නමුත් උඩපන්දුව චන්දිමාල්ගේ අතේ වැදී බිම වැටිණ. මේ සිදුවීම් තුනම ලකුණු 04 ක් ඇතුළතදී දැකගත හැකිවූයේ වාසනාව කාගේ පැත්තේද යන්න ඉඟියක් කල්වේලා ඇතිවම ප්‍රේක්‍ෂකයන්ට දෙමිනි.

අද උදෑසන ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 337 දී නිමාවට පත්විය. නසීම් ෂාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ප්‍රභාත් ජයසූරිය ලකුණු 04 කට දැවී යාමෙන් දිනේෂ් චන්දිමාල්ට (නොදැවී 94) සිය ඉනිම නවතා ආපසු ක්‍රීඩාගාරයට යාමට සිදුවිය. චන්දිමාල් සිය අවසන් ටෙස්ට් ඉනිම තුනකදී ලබාගත් ලකුණු සංඛ්‍යාවන් සටහන් වූයේ නොදැව 206 ක්, 76 ක් සහ නොදැවී 94 ක් ලෙසිනි.


අදහස් (0)

අබ්දුල්ලා - ඉමාම් - අසාම් පාකිස්තානය ඉදිරියට ගෙනයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.