Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චමරි අතපත්තුගේ (101 සහ 20/2) තුන් ඉරියව් දස්කම් මෙන්ම හර්ෂිතා මාධවීගේ (75) පිතිහරඹයත්, පන්දු යවන්නියන්ගේ දස්කම් සමගින් පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව කරච්චියේදී අද (5 වැනිදා) පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 93 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට පාකිස්තාන කාන්තා පිලට හැකිවූ අතර අයි.සී.සී. කාන්තා ශූරතාවලිය යටතේ පැවැති තරගාවලියක් බැවින් ප්‍රසාද ලකුණු 4 ක් පාකිස්තායටත්, ප්‍රසාද ලකුණු 2 ක් ශ්‍රී ලංකාවටත් හිමිවිය.
ශ්‍රී ලංකා කාන්තා පිලේ පාකිස්තානු සංචාරයේදී පැවැති තරග 6 න් ශ්‍රී ලංකා පිලට ජයගැනීමට හැකිවූයේ මෙම එක්දින තරගය පමණි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිලට ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 260 ක් ලබාගැනීමට හැකිවිය.
සිය එක්දින ක්‍රීඩා දිවියේ 6 වැනි ශතකය මෙන්ම පාකිස්තානු පිලට එරෙහිව මංගල ශතකය ලබාගැනීමට නායිකා චමරි අතපත්තු සමත්වූවාය. ස්ටම්ප් කිරීමකට හසුව අතපත්තු දැවීයන විට පන්දු 85 කදී හයේ පහරක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 101 ක් ලබාගැනීමට සමත්වූවාය.
අතපත්තුට අනගි සහයක් ලබාදෙමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට හර්ෂිතා මාධවී සමත්වූවාය. පන්දු 128 කට මුහුණදුන් හර්ෂිතා හතරේ පහර 3 ක් සමගින් ලකුණු 75 ක් ලබාගත් අතර කවීෂා දිල්හාරී පන්දු 44 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 28 ක් සහ නිලක්ෂි ද සිල්වා පන්දු 18 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 24 ක් ලබාගැනීමට සමත්වූහ.
චමරි අතපත්තු සමගින් තෙවැනි කඩුල්ල සඳහා පන්දු 173 කදී ලකුණු 152 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හර්ෂිතා මාධවී ඉන් නොනැවතී සිව්වැනි කඩුල්ල සඳහා කවීෂා දිල්හාරී සමගින්ද පන්දු 76 කදී තවත් ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගුවාය.
ෆාතිමා සානා සහ අනාම් අමීන් කඩුලු 2 බැගින්ද, නිඩා ඩාර් සහ ඔමයිමා සොහෙල් කඩුල්ල බැගින්ද දවාගැනීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 261 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානු කාන්තා පිලට ඕවර 41.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 167 ක් පමණි.
පාකිස්තානු ක්‍රීඩිකාවන් සාර්ථක ආරම්භයක් ලබාගනිමින් කිසිවකු නොදැවී ලකුණු 41 ක් ලබාගත්තද කඩුලු 4 ක් ලකුණු 7 ක් තුල දැවී යාමෙන් ඔවුන් දැඩි අසීරූතාවයකට පත්වූහ.
නමුත් 5 වැනි කඩුල්ල සඳහා එක්වූ ඔමයිමා සොහෙල් සහ ආලියා රියාස් එක්ව පන්දු 97 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වුවද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.
ඔමයිමා සොහෙල් පන්දු 61 කදි හතරේ පහර 6 ක් සමගින් ලකුණු 40 ක් ලබාගත් අතර ආලියා රියාස් පන්දු 82 කදි හතරේ පහර 4 ක් සමගින් ලකුණු 56 ක් ලබාගැනීමට සමත්වූවාය.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ චමරි අතපත්තු ඕවර 6 ක් යවමින් එක් නිලකුණු ඕවරයක්ද සමගින් ලකුණු 20 කට කඩුලු 2 ක් සහ ඕෂදී රණසිංහ ලකුණු 9 කට කඩුලු 2 ක් ද දවාගැනීමට සමත්වූහ. සුගන්දිකා කුමාරී, ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරී අතරද කඩුල්ල බැගින් බෙදී ගියහ.
තරගයේ වීරයාට හිමි සම්මානය චමරි අතපත්තු හිමිකර ගන්නා විට තරගාවලියේ වීරයාට හිමි සම්මානය සිද්‍රා අමීන්ට හිමිවූවාය.
ශ්‍රී ලංකාව - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 260
(චමරි අතපත්තු 101, හර්ෂිතා මාධවී 75, කවීෂා දිල්හාරී 28, නිලක්ෂි ද සිල්වා නොදැවී 24, ෆාතිමා සානා 51/2, අනාම් අමීන් 43/2)
පාකිස්තානය - ඕවර 41.4 කදී සියලුදෙනා දැවී 167
(ඔමයිමා සොහෙල් 40, ආලියා රියාස් 56, චමරි අතපත්තු 20/2, ඕෂදී රණසිංහ 29/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.