Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International 2025 ජූලි දක්වා බ්‍රෙන්ඩන් ටේලර්ට ක්‍රිකට් තහනම්

2025 ජූලි දක්වා බ්‍රෙන්ඩන් ටේලර්ට ක්‍රිකට් තහනම්

editorial - 2022 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අධි සැර මත්ද්‍රව්‍යයක් ලෙසින් සැලකෙන ‘කොකේන්‘ භාවිතා කිරීමත්, ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතා මත තරග පාවාදීමේ නිරත වීම සඳහා ඩොලර් 15,000 ක "තැන්පතුවක්" භාරගත් බවත් හෙළි කිරීමෙන් දින තුනකට පසු සිම්බාබ්වේ හිටපු නායක බ්‍රෙන්ඩන් ටේලර්ට වසර තුනහමාරක කාලයක් සඳහා සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිකුරාදා (28 වැනිදා) මෙම තහනම ප්‍රකාශයට පත්කරන ලදි.

බ්‍රෙන්ඩන් ටේලර් දූෂණ විරෝධී නීති සංග්‍රහයේ වගන්ති හතරක් උල්ලංඝනය කළ බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි. එමෙන්ම ගෝලීය වශයෙන් පවතින තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීම වෙනම චෝදනාවක් ලෙසින් ඔහු පිළිගෙන ඇති බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභා නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ත්‍යාග ලැබීම හෝ ආගන්තුක සත්කාර සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී ඒකකයට හෙළි කිරීමට ඔහු අපොහොසත් වූ බවත් එයම "දූෂිත හැසිරීම් වල යෙදීමට ප්‍රවේශයක්" බවත්, ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු හෙළි කිරීමට බ්‍රෙන්ඩන් අපොහොසත් වූ බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියයි.

ටේලර්ට එල්ල වී තිබෙන දූෂණ විරෝධී චෝදනා වෙනම කතාවකි. එහෙත් තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් ටේලර් අසුවූයේ අයර්ලන්තය සහ සිම්බාබ්වේ අතර 2021 සැප්තැම්බර් මාසයේදී පැවැති තරගාවලියක් අතරතුර පවත්වන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් මතය.

මෙම චෝදනා සම්බන්ධයෙන් ඔහුට මාසයක තරග තහනමක් ලබා දී ඇති අතර, එය ඔහුගේ අනෙක් තහනමට සමගාමීව ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව ඔහුට නැවතත් ක්‍රීඩා කළ හැකිවන්නේ 2025 ජූලි 28 වැනිදායින් පසුවය.

"බ්‍රෙන්ඩන් කියන්නේ වසර 17 ක් සිම්බාබ්වේ පිල නියෝජනය කළ හිටපු ජාත්‍යන්තර නායකයෙක්,

"මෙතරම් දිගු වෘත්තීය දිවියකදී,  ඔහු දූෂණ විරෝධී සහ තහනම් උත්තේජක විරෝධී අධ්‍යාපන සැසි ගණනාවකටම සහභාගී වෙලා තියෙනවා. ඒ නිසාම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී සහ තහනම් උත්තේජක නීති රීති මොනවාද කියත්, ඔහුගේ වගකීම් මොනවාද කියලාත් හරියටම දන්නවා"  යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා පැවසීය.

"ඔහුගේ තරමට අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකු එම වගකීම් ඉටු නොකිරීම  බලාපොරොත්තු සුන් කරවන්නක්. කෙසේ වෙතත්, ඔහු සියලු චෝදනා පිළිගෙන තියෙනවා" යයි ද ඇලෙක්ස් මාෂල් මහතා පැවසීය.

සිම්බාබ්වේ පිල වෙනුවෙන් එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභියා වූ බ්‍රෙන්ඩන් ටේලර් පසුගිය සඳුදා සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් නිකුත් කරමින් හෙළිදරව් කළේ දීර්ඝ කාලයක ක්‍රිකට් තහනමකට මුහුණ දී සිටින බවයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී විශ්‍රාම ගත් 35 හැවිරිදි බ්‍රෙන්ඩන් කියා සිටියේ 2019 ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් තමන්ට ආරාධනාවක් ලැබුණු බවයි.  

"සිම්බාබ්වේහි විස්සයි20 තරගාවලියක් පැවැත්වීම සහ ඒ  සම්බන්ධයෙන් අනුග්‍රහය දැක්වීමට සහ සාකච්ඡා කිරීමට ඉන්දියාවට යාමට මට ආරාධනා කළා. ඒ වෙනුවෙන් මට ඇ.ඩො. 15,000 ක් ගෙවන්නත් පොරොන්දු වුණා"  යයි බ්‍රෙන්ඩන් ටේලර් කීවේය.

කණ්ඩායමට මාස හයක් වැටුප් නොලැබුණු අවස්ථාවක මෙම ආරාධනය ලැබුණු බවත්, සිම්බාබ්වේ කණ්ඩායමට එතැන් සිට ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇතැයි යන කනස්සල්ල ඒ වනවිට පැවැති බවත් ඔහු පැවසීය.

ටේලර් පැවසුවේ තමා "ටිකක් කල්පනාකාරී" වූ නමුත් ඉන්දියාවට ගිය බවත් එහි සිටියදී ව්‍යාපාරිකයන් සහ ඔහුගේ සගයන් විසින් ඔහුට කොකේන් දීමෙන් පසුව ඔහු කොකේන් ගත් බවත්ය.

පසුව එම පුද්ගලයින් තමන් මත්ද්‍රව්‍ය භාවිත කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් තමාට පෙන්වූ බවත්, එක් එක් තරග වලදී ඔවුන්ට අවශ්‍ය ආකාරයට ක්‍රීඩා නොකළහොත් කොකේන් ගත් වීඩියෝව මහජනතාවට නිකුත් කරන බව පවසමින් තමන්ට තර්ජනය කළ බවත් බ්‍රෙන්ඩන් ටේලර් පැවසීය.

ටේලර් කියා සිටියේ තමා "තනිවූ" බවත්, බුකිකරුවන්ගේ අවශ්‍යතා සඳහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් "තැන්පතුවක්" ලෙස ඔහුට ඩොලර් 15,000 ක මුදලක් තිළිණ කළ බවත්ය. මුදල් බාරගත් බැවින් ඔහුට ඉන්දියාවෙන් පිටතට පියාසර කිරීමට හැකි විය.

එම වරද අන්තර්ජාතික ක්‍රිකට් සභාව වෙත වාර්තා කිරීමට ඔහුට මාස හතරක් ගත වූ නමුත් ඔහු කිසිවිටෙක "කිසිදු ආකාරයක තරග පාවාදීමකට" සම්බන්ධ වී නොමැති බව අවධාරණය කළේය.

- 213


අදහස් (0)

2025 ජූලි දක්වා බ්‍රෙන්ඩන් ටේලර්ට ක්‍රිකට් තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.