Last Update  :  2025-11-08 15:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International 19 න් පහළ බාලිකාවෝ සිව්වැනි තරගයත් දිනති
මැලේසියානු පිලේ සංචාරය

19 න් පහළ බාලිකාවෝ සිව්වැනි තරගයත් දිනති

editorial - 2025 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

සංචාරක මැලේසියානු කාන්තා කණ්ඩායමේ පන්දු යවන්නියන් සෙල්ලමකට බාරගත් විමෝක්‍ෂා බාලසූරිය කොළඹ එන්.සී.සී. පිටියේදී අද (7 වැනිදා) පැවැති සිව්වැනි තරගයේදීත් අර්ධ ශතකයක් ලබාගනිමින් ශ්‍රී ලංකා 19 න් පහළ බාලිකා කණ්ඩායම කඩුලු 9 ක දැවැන්ත ජයක් කරා කැඳවාගෙන ගියාය. 

ලකුණු 86 ක පහසු ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ඕවර 13.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 89 ක් ලබාගත්හ. මැලේසියානු ජාතික කණ්ඩායමට එරෙහිව තරග කරන ශ්‍රී ලංකාවේ 19 න් පහළ බාලිකා කණ්ඩායම මෙම ජයත් සමගින් 4-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටී. 

මෙම තරගාවලිය තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියකි. 

තවමත් 16 හැවිරිදි වමත් පිතිකාරිණියක වන විමෝක්ෂා ත්‍රිකුණාමලයේදී උපත ලද ක්‍රීඩිකාවකි. ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විමෝක්ෂා අද ලබාගත්තේ මෙම තරගාවලියේ තරග 4 කදී ඇය ලබාගත් තුන්වැනි අර්ධ ශතකයයි. 

තරගාවලියේ පළමු තරගයේ සිටම ඇයගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ නොදැවී 53, 20, 62 සහ නොදැවී 53 වශයෙනි. මෙම ඉනිම 4 දී ලකුණු 188 ක් ලබාගත් විමෝක්ෂා ඒ වෙනුවෙන් මුහුණ දී ඇත්තේ පන්දු 155 කට පමණි. 

පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඕස්ටේ්‍රලියානු යොවුන් බාලිකා කණ්ඩායම හමුවේ අසාර්ථක වූ වමෝක්ෂා එහි තරග 5 කදී ලබාගත්තේ ලකුණු 74 කි. එහි වාඩුව මැලේසියානු ක්‍රීඩිකාවන්ගෙන් ගත් විමෝක්ෂා දැනටමත් තරග 4 කින් ලකුණු 188 ක් ලබා සිටින්නීය. 

තුන්වැනි තරගයේදී ලකුණු 10 කට කඩුලු 5 ක් දවාගත් දකුණත් පා දඟ පන්දු යවන්නී, අසේනි තලගුණේ අද තරගයේදීත් ලකුණු 14 කට කඩුලු 4 ක් දවාගත්තාය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පන්දු යැවීම කෙතරම් අභියෝගාත්මක වූයේද යත් ආරම්භක පන්දු යවන්නී රශ්මිකා සෙව්වන්දි යැවූ පන්දු 12 කින් මැලේසියානු පිතිකාරිණියන්ට ලබාගත හැකිවූයේ 01 ලකුණකි. තලගුණේ යැවූ පන්දු 24 න් 17 ක්ම නිලකුණු පන්දු වූ අතර චමෝදි ප්‍රබෝධා සහ ශෂිනි ගිම්හානි දෙදෙනා එක්ව යැවූ පන්දු 48 කින් පන්දු 25 ක් ම නිලකුණු පන්දු ලෙසින් සටහන් විය.


මැලේසියානු කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 85 යි
(මහීරා ඉස්මයිල් 11, එලිසා යස්මින් සුල්කිෆි 13, නූර් ධානියා සමාද් 22, චමෝදි ප්‍රබෝධා 18/2, අසේනි තලගුණේ 14/4, ශෂිනි ගිම්හානි 19/2)

ශ්‍රී ලංකා 19 න් පහළ බාලිකාවෝ - ඕවර 13.4 කදී කඩුල්ලක් දැවී 89 යි
(සංජනා කාවින්දි 15, විමෝක්ෂා බාලසූරිය නොදැවී 53, මනුදි නානායක්කාර නොදැවී 16)


අදහස් (0)

19 න් පහළ බාලිකාවෝ සිව්වැනි තරගයත් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.