Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International “වහින්න නම් එපා” - එකම ප්‍රාර්ථනාවයි
පූර්විකාව

“වහින්න නම් එපා” - එකම ප්‍රාර්ථනාවයි

editorial - 2022 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ක්‍රිකට් තරගයක් සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට, එක් එක් රටවල ක්‍රිකට් ආයතන නිලධාරීන්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන්ටත් විවිධාකාර අපේක්‍ෂා පවතින්නට පුළුවන. එහෙත් හෙට (බ්‍රහස්පතින්දා) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - නෙදර්ලන්ත තරගය සම්බන්ධයෙන් නම්, ලෝකයේම ක්‍රිකට් ලෝලීන්ට ඇත්තේ එකම එක ප්‍රාර්ථනාවකි.
“හෙට වහින්න නම් එපා” යන්න එම ප්‍රාර්ථනාවයි.

ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් තේරීමේ වටයේදී, ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඇත්තේ ප්‍රසාද ලකුණු 2 කි. තරග දෙකක් ජයගත් නෙදර්ලන්තය සතුව ප්‍රසාද ලකුණු 4 ක් තිබේ.

ශුද්ධ ලකුණු වේගය අනුව නෙදර්ලන්තයට (0.149) වඩා ශ්‍රී ලංකාව (0.600) ඉදිරියෙන් සිටින නමුත් පළමු වැනි තීරණාත්මක සාධකය වන්නේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වන බැවින්, යම් හෙයකින් හෙට දිනයේ පළමුව පැවැත්වෙන ශ්‍රී ලංකා - නෙදර්ලන්ත තරගය වර්ෂාවට ගොදුරු වුවහොත්, ප්‍රසාද ලකුණු දෙපිලටම බෙදී යයි. ඒ අනුව, නෙදර්ලන්තයට ලකුණු 5 ක් සහ ශ්‍රී ලංකාවට ලකුණු 3 ක් ලැබෙතත්, නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයේදී නැමීබියාව පරාජය වනතුරු, ඇණගැසූ ලෑල්ලක් මත වාඩිවී බලා සිටීමට ශ්‍රී ලාංකිකයන්ට සිදුවනු ඇත.

එය වේදනාවකි.

එබැවින් වඩාත්ම පහසු විකල්පය වන්නේ වර්ෂාවේ බාධාවකින් තොරව, නෙදර්ලන්තය පරාජය කිරීමයි. එවිට ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සමගම ශ්‍රී ලංකා පිලේ ශුද්ධ ලකුණු වේගයත් ඉහළ යන බැවින් නැමීබියාව කුමක් කරගත්තද ප්‍රධාන තරගාවලියේ කණ්ඩායම් 12 ට ඇතුළත් වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ඉතිරිවනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ එක් විශේෂත්වයක් තිබේ. එනම් පීඩනයට පත්වූ කල්හි ඔවුන් අවශ්‍ය දස්කම් අතරට පැමිණීමයි. ආසියානු කුසලාන තරගාවලියේදී පමණක් නොව, පසුගිය ජූනි - ජූලි - අගෝස්තු - මාසවලදී පැවැති ටෙස්ට් සහ එක්දින මෙන්ම විස්සයි-20 තරගවලදීත් එය මැනවින් දැකගත හැකිවිය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේදී නැමීබියාව හමුවේ ලකුණු 55 කින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම, දෙවැනි තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 73 කින් පරාජය කරමින්, අළු ගසාදමා නැඟිට්ටේය.
ශ්‍රී ලංකා පිලට හෙට ඇත්තේ පන්දු දුෂ්මන්ත චමීරගේ හිස්තැන පුරවාගැනීමේ ගැටළුවකි. දුෂ්මන්ත චමීරගේ ඉවත් වීමෙන් නිර්මාණය වන හිදැස පිරවීම පහසු නොවේ.

විශේෂයෙන්ම නෙදර්ලන්තය වැනි කණ්ඩායමක් හමුවේ දුෂ්මන්ත චමීරගේ අත්දැකීම් පිරි පන්දු යැවීමට විශාල යමක් කළ හැකිව තිබිණ. එහෙත් ශ්‍රී ලංකා සංචිතය වේග පන්දු යවන්නන්ගෙන් ගහණ බැවින් හෙට තරගයේදී කාට හෝ දුෂ්මන්තගේ හිදැස පිරවීමට සිදුවනු ඇත.

නායක දසුන් ශානක පවසන පරිදි ආසියානු ශූරයන් වීම සම්බන්ධයෙන් තවදුරටත් කතා කිරීමෙන් ඵලක් නැත. දැන් ඇත්තේ ඉදිරියේ තිබෙන තරගය ජයගැනීමේ අභියෝගයයි.

“ආසියානු කුසලාන දිනාගැනීම දැන් අතීතයට එකතු වෙලා ඉවරයි. ඒක අපේ කුසලාන රාක්කයේ තියෙන තවත් එක කුසලානයක් විතරයි. ඒ නිසා ඒ ගැන හිත හිතා ඉන්න එකේ තේරුමක් නෑ...”

“අපි දැන් හිතන්න ඕනා, මේ (හෙට) තරගය දිනලා, ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන කොටසට ඇතුළත් වෙන්නේ කොහොමද කියලයි” යයි දසුන් ශානක අද පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

“අපේ සමත්කම් මොනවාද, දුර්වලකම් මොනවාද කියලා අපි හොඳින් දන්නවා... ඒත් පළමුවැනි තරගයේදී අපි ඒවා හරියට භාවිතාවේ යෙදෙව්වේ නැති නිසා අපි නැමීබියාවට පැරදුනා. එහෙම වුණත්, එයින් පස්සේ අපි වඩාත් හොඳ කණ්ඩායමක්” යයි ද දසුන් ශානක පැවසීය

නිරන්තරයෙන් තරග වදින, විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ ශ්‍රේණිගත කණ්ඩායම් වලට මුහුණදීමට වඩා නිරන්තරයෙන් හමු නොවන, ආගන්තුක කණ්ඩායම් වලට මුහුණදීම අභියෝගාත්මකය. මේ අලුත් ක්‍රීඩකයන්ගේ තත්ත්වය හරියාකාරව දැකගත හැකිවන්නේ තරගයකදී පමණි. එබැවින් නෙදර්ලන්තයට එරෙහිව හෙට පැවැත්වෙන තරගය සැහැල්ලුවෙන් ගැනීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිසේත්ම නැත.

බි්‍රස්බේන් නුවරින් ගෙනැවිත් සවිකරන ලද ජිලෝන්ග් තණතීරුවේදී ශ්‍රී ලාංකිකයන්ට මැසිවිලි කීමට තරම් දෙයක් නැත්තේමය. එහි තිබෙන ඒකාකාරී ඉපිළීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ මෙන්ම වේග පන්දු යවන්නෝත් කැමැත්තෙන් සිටිති. එවන් තත්ත්වයක් තිබියදීත්, ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන්නන් දෙදෙනා වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්‍ෂණ මනා පාලනයකින් යුතුව පන්දු යැවීම දසුන් ශානකගේ ප්‍රසාදයට හේතුවෙයි.
“අපිට දඟ පන්දු යවන්නන්ගෙන් කඩුලු දෙක තුනක් දවාගන්න පුළුවන් නම්, ඒක අතිරේක වශයෙන් විශාල වාසියක් වෙනවා” යයි දසුන් ශානක කියයි.

ඕස්ටේ්‍රලියාවේදී, නවසීලන්තයේදී හෝ එංගලන්තයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන ඕනෑම තරගයකට ශ්‍රී ලාංකික නරඹන්නන් පැමිණෙන්නේ ගඟ ගලන්නාක් ලෙසිනි.

සුදුසුකම් තේරීමේ තරග ජීලෝන්ග්හිදී පැවැත්වෙන නමුත්, මෙල්බර්න්හි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පමණක් නොව මෙල්බර්න් නුවරට කිලෝ මීටර 700 ක් පමණ එපිටින් පිහිටි ඇඩිලේඩ් සහ බි්‍රස්බේන් නගර වල සිටත් තරග නැරඹීමට ශ්‍රී ලාංකිකයෝ පැමිණෙති. ඕස්ටේ්‍රලියාවේ කිනම් නගරයක තරගයක් පැවතියද, පපරේ නාදය සමගින් එහි ඇත්තේ ශ්‍රී ලාංකීය හදගැස්මයි.

 


අදහස් (0)

“වහින්න නම් එපා” - එකම ප්‍රාර්ථනාවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.