Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සංගා යළිත් ගාල්ලේ තණතීරුවට

සංගා යළිත් ගාල්ලේ තණතීරුවට

editorial - 2019 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එම්.සී.සී. කණ්ඩායමත් එංගලන්ත අන්තර් ප්‍රාන්ත තරගාවලියේ ජයග්‍රාහකයන් වූ එසෙක්ස් කණ්ඩායමත් අතර ලබන වසරේ මාර්තු මාසයේ ගාල්ලේදී පැවැත්වීමට නියමිත තුන්දින ක්‍රිකට් තරගයේදී එම්.සී.සී. පිල එහි වත්මන් සභාපති කුමාර් සංගක්කාර මහතා විසින් මෙහෙයවනු ලබනු ඇත. මෙම තරගය සඳහා කුමාර් සංගක්කාර මහතා, ක්‍රිකට් ඇඳුම් ආයිත්තම්වලින් සැරසී, වසර පහකට පමණ පසු නැවත වරක් ගාල්ල ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇත.

සංගක්කාර මහතා අවසන් වරට ගාල්ල ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කළේ 2015 අගෝස්තු මාසයේදී ඉන්දීය පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදීය. වසර 2000 දී සිය මංගල ටෙස්ට් තරගය සඳහා ගාල්ල ක්‍රීඩාංගණයට පිවිසි සංගක්කාර මහතා ගාල්ල ක්‍රීඩාංගණයේදී පමණක් ටෙස්ට් ද්විත්ව ශතකයක් සහ ශතක 6 ක් සමගින් ලකුණු 1921 ක් ලබා තිබේ.

එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්.සී.සී.) සභාපතිවරයා වශයෙන් පත්වූ පළමුවැනි ඉංග්‍රීසි නොවන ජාතිකයා වන්නේ කුමාර් සංගක්කාර මහතාය. මේ වන විට 42 හැවිරිදි වියේ සිටින සංගක්කාර මහතා සිය 15 වසරක අන්තර්ජාතික ක්‍රිකට් දිවියේදී ටෙස්ට් තරග 134 කට සහ එක්දින තරග 400 කට ක්‍රීඩා කර තිබේ.

එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන මෙම සාම්ප්‍රදායික තරගය ලබන වසරේ මාර්තු 24 වැනිදා සිට 27 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

එම්.සී.සී. පිල සහ අන්තර් ප්‍රාන්ත තරගාවලියේ කලින් වසරේ ශූරයන් අතර පැවැත්වෙ මෙම සාම්ප්‍රදායික තරගය වසර 2011 සිටම විදේශයකදී පැවැත්වෙයි. පසුගිය වසරේදී මෙම තරගය ඩුබායිහිදී පැවැති නමුත් ඊට වර්ෂාවෙන් බාධා පැමිණියේය.

මෙම සාම්ප්‍රදායික තරගය සඳහා ශ්‍රී ලංකාව තෝරාගනු ලැබ ඇත්තේ හේතු කිහිපයක් ඇතිවය. මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුව මාර්තු මාසයේදී ගාල්ලේදී පැවැත්වෙයි. මෙම තරගයට දින යොදාගෙන ඇත්තේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට අයත් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයද ඒ දිනවලදීම ගාල්ලේදී පැවැත්වෙන බැවිනි.

කුමාර් සංගක්කාර මහතා පවසන පරිදි එම්.සී.සී. පිල සහ එසෙක්ස් පිල අතර පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට අතිශයින් වැදගත් වන්නකි.

“ශ්‍රී ලංකාව වගේ රටවල ක්‍රිකට් ක්‍රීඩාවට සහයෝගය දක්වන්න මේක හොඳ අවස්ථාවක්. අන්තර් ප්‍රාන්ත ශූරයන්ගේ තරගය ගාල්ලට ගෙන යන්න ලැබීම ඒ සඳහා කදිම අවස්ථාවක් සපයනවා”

“මම ක්‍රීඩා කරන්න විතරක් නෙමේ එම්.සී.සී. පිලට නායකත්වය දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ තරගයේදී තරුණ ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් ප්‍රාන්ත ශූරතාව දිනාගත් එසෙක්ස් පිලට හොඳ අභියෝගයක් වේවි” යයිද සංගක්කාර මහතා පැවසීය.

මෙම තරගයට සත්කාරකත්වය දැරීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් තමන් ඉතාමත් සතුටට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පැවසීය.

..


අදහස් (0)

සංගා යළිත් ගාල්ලේ තණතීරුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.