රෝහිත් සටන අත නොහරී
(සැකසුම - රොෂාන් ගුණරත්න)
කලව පිටුපස මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් ටෙස්ට්, එක්දින හෝ විස්සයි-20 තරග සඳහා සුදුසු නැතැයි කියමින් ඕස්ට්‍රේලියානු සංචාරයෙන් ඉවත් කළ මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ෂර්මා අයි.පී.එල්. කුසලාන තරගාවලියේ ඉතාමත් තීරණාත්මක තරගයක් සඳහා නැවතත් එක්වී සිටී. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙහි පසුවන මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල් කණ්ඩායම් අතර අද (5 වැනිදා) පැවැත්වෙන තරගයට රෝහිත් එක්වී සිටී.
මෙම තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට තවත් අවස්ථාවක් හිමිවන නමුත් තමන්ගේ හොඳම ක්‍රීඩකයා මෙන්ම නායකයාද වන රෝහිත් බංකුවේ තබා තරගයට පිවිසීමට මුම්බායි පිල සූදානම් නොවේ.
කලව පිටුපස මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක්ම ක්‍රීඩා නොකළ රෝහිත් ෂර්මා පසුගිය අඟහරුවාදා සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළේය. ඒ එකවරම තීරණාත්මක තරගයකට පිවිසීමේ පීඩනයට මුහුණ නොදීමේ අරමුණ ඇතිවය.
ප්‍රේක්‍ෂකයන්ට එය සුභ ආරංචියක් වුවද ෂර්මා ක්‍රීඩා කිරීමට ගත් තීරණය ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සියල්ලන්ගේම ඇහිබැම් ඉහළ නංවා තිබිණ. ආබාධයේ ස්භාවය සැලකිල්ලට ගෙන නැවත ක්‍රීඩා කිරීමට ඉක්මන් නොවන්නැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මහතා මුම්බායි නායකයා මෙන්ම ඉන්දියාවේ ආරම්භක පිතිකරුට උපදෙස් දී තිබුනේය. එහෙත් ෂර්මා තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් දැඩි තීරණයක් ගෙන තිබේ.
දිල්ලි කැපිටල් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර අද පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයින් මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන පළමු කණ්ඩායම වනු ඇත.
“රෝහිත් ඉතා හොඳ ක්‍රීඩකයෙක්. ඔහු බොහෝ තරග ක්‍රීඩා කර නොමැති නිසා (ආබාධයට ලක්වීමෙන් පසුව) ඔහුගේ ක්‍රීඩා රටාව වෙනත් අවස්ථාවලදී වගේ වෙන එකක් නෑ. නියත වශයෙන්ම අපට එයින් ප්‍රයෝජන ගන්න පුළුවන්” යනුවෙන් දිල්ලි පිලේ ඉහළම ලකුණු ලාභියා වන ශීකර් ධවාන් පසුගියදා පැවසීය.
මුම්බායි නායකයා සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව ක්‍රිඩා කළ නමුත් මුම්බායි පිලේ ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු වූ ට්‍රෙන්ට් බෝල්ට්, හර්දික් පාණ්ඩ්‍යා සහ ජස්ප්‍රිට් බුම්රා පසුගිය අඟහරුවාදා ක්‍රීඩා නොකළහ. නමුත් අද (5 වැනිදා) පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු කඩයිම් තරගයට ඔවුන්ගේ හොඳම ක්‍රීඩකයින් 11 දෙනා පිටියට යැවීමට මුම්බායි ඉන්දියන්ස් පිල තීරණය කර තිබේ.
රෝහිත් ෂර්මා සන්රයිසර්ස් පිලට එරෙහිව උපරිම දක්ෂතා නොදැක්වුවද, පළමු කඩයිම් තරගයේදී ඔහු බලපෑමක් ඇති කරනු ඇතැයි මුම්බායි පිලේ බලාපොරොත්තුවයි. මෙම තරගාවලිය පුරාම මුම්බායි පිලට හොඳ ආරම්භයක් ලබාදී ඇති ක්වින්ටන් ඩි කොක් තරගයේ වේගය ඉදිරියට ගෙන යනු ඇතැයි බලාපොරොත්තු වේ.
අයි.පී.එල්. තරගාවලිය පුරාම දක්ෂතා අතර සිටින සූර්යකුමාර් යාදව් අංක 3 ස්ථානය තමාගේම කරගත්තේය. මුම්බායි කණ්ඩායම අවසන් තරගයට ගෙන ඒමේදී ඔහුගේ සාර්ථකත්වය බෙහෙවින් ඉවහල් වන අතර අනෙක් සාර්ථක පිතිකරුවා වන්නේ ඉෂාන් කිෂාන්ය. රෝහිත් නැති අවස්ථාවන්හිදී ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ ඉෂාන්ට රෝහිත් යළි පැමිණීම හේතුවෙන් නැවතත් අංක 4 ට පසු බැසීමට සිදුවිය.
අවසන් තරග දෙකෙදී විවේක ගන්වනු ලැබූ හර්දික් පාණ්ඩ්‍යා මුම්බායි පිලේ ජයග්‍රහණයට ඔහුගේ පූර්ණ ශක්තිය යොදවනු ඇති අතර මෙම තරගාවලියේදී දක්ෂතා අතරට පැමිණීමට කුනාල් පාණ්ඩ්‍යා අපොහොසත් වුවද ඔහුට අවස්ථාව උදාවුවහොත් තරගය ජයග්‍රහණය කරා ගෙන යෑමේ හැකියාව ඔහුට ඇත.
රෝහිත්ගේ ආබාධය හේතුවෙන් ඉතා දක්ෂ ලෙස කණ්ඩායමට නායකත්වය දුන් කරන් පොලාඞ් මුම්බායි ඉන්දියන්ස් පිලේ විශ්වාසවන්තම පුද්ගලයා වන්නේය.
ට්‍රෙන්ට් බෝල්ට් අවසන් තරගයේදී විවේක ගැන්වූ නමුත් අද තරගයට ක්‍රීඩා කරනු ලබන 11 දෙනා අතරට නේතන් කූල්ටර්-නයිල් වෙනුවට ආදේශ කරනු ඇත. බෝල්ට් (කඩුලු 20) සහ ජස්ප්‍රිත් බුම්රා (කඩුලු 23) හොදින් පන්දු යවන විට ජේම්ස් පැටින්සන්ද තමන්ගේ වැඩ කොටස හොදින් නිමකරන බැවින් අතර දිල්ලි පිලට මෙම තරගය පහසු අභියෝගයක් නොවනු ඇත.
පිට පිට තරග දෙකකදී ශතක ලබාගත් ශීකර් ධවාන් (525) මුම්බායි පන්දුයවන්නන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබේ. ඊට අමතරව ධවාන් අර්ධ ශතක 3 ක් ද ලබාගෙන ඇත.
ආරම්භක පිතිකරු ප්‍රිත්වී ෂෝ සහ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් දෙදෙනාම දිල්ලි පුහුණුකරුවාට හිසරදය ගෙන එන්නන් වී සිටිති. ෂෝට ඔහුගේ අවසන් ඉනිම හයේ දී ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට හැකිවී නොමැති අතර තරග 11 කදී රිෂාබ් පාන්ට්ගේ වැඩිම ලකුණු සංඛ්‍යාව 38 කි. නායක ශ්‍රියාස් අයියර් අංක 3 දක්වා ඉදිරියට යා යුතු බවට යෝජනා වී තිබෙන අතර ඔහු අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 421 ක් රැස්කර ඇත.
“මම ඔවුන්ට දෙන එකම අවවාදය නම් සන්සුන්ව සිටිමින් ඔවුන්ගේ හැකියාවන්ට අවස්ථාව ලබාදීමයි. මංමුලා වුනාම කිසිම යහපත් දෙයක් එළියට එන්නේ නෑ” යැයි වඩාත් ජ්‍යෙෂ්ඨ පිතිකරු ෂිකාර් ධවාන් කියයි.
දිල්ලි පිලේ ප්‍රධාන තුරුම්පු බවට පත්ව ඇත්තේ ඔවුන්ගේ වේගපන්දු යවන්නන් දෙදෙනා වන කගිසෝ රබාඩා සහ ඇන්රිච් නෝයේය. ඔවුන් දෙදෙනා කඩුලු 44 ක් දවාගෙන ඇති අතර රබාඩා කඩුලු 25 ක් දවාගනිමින් මෙවර අයි.පී.එල් තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර පෙරමුණේ සිටී.
සිව්වරක් අයි.පී.එල්. ශූරතාවට හිමිකම් කියා ඇති මුම්බායි ඉන්දියන්ස් පිල මෙවර තරගාවලියේදී දෙවතාවක් දිල්ලි පිල පරාජය පත්කර තිබේ. එය එක්තරා අන්දමකින් ඔවුන්ට මානසික වාසියක් ද විය හැකි නමුත් ක්‍රිකට් ක්‍රීඩාව සැමදා අවිනිශ්චිත ක්‍රීඩාවකි.