Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග දෙක පැවැත්වෙන සෙන්චූරියන් සහ ජොහැන්නස්බර්ග් ක්‍රීඩාංගණවල ඇති තත්ත්වයන් වේග පන්දු යවන්නන්ට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නුවරදී සඳුදා පැවැති පුවත් පත් සාකච්ඡාවකදී මිකී ආතර් මහතා මේ බව කියා සිටියේය.
සඳුදා උදෑසන ශ්‍රී ලංකා පුහුණුකරුවා සෙන්චූරියන්හි තණතීරුව නිරීක්ෂණය කිරීමෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවකදී එසේ පැවසීය.
" අපට ශ්‍රී ලංකාවේ තත්ත්වයන් නම් අපේක්ෂා කරන්න බෑ. ඒත් මම අද උදේ තණතීරුව දිහා බැලුවා.... එය ක්‍රිකට් තරගයක් සඳහා හොඳ තණතීරුවක්" යයි පුහුණුකරුවා පැවසීය.
මීට ඉහත (2005-2010 අතර කාලයේදී) දකුණු අප්‍රිකානු පිලේද පුහුණුකරුවා වශයෙන් සිටි මිකී ආතර් මහතා පසුව ඕස්ට්‍රේලියානු සහ පාකිස්තානු කණ්ඩායම් වලද පුහුණුකරුවා වශයෙන් කටයුතු කළේය. දකුණු අප්‍රිකානුවකුද වන ආතර් මහතා වසර 1986 සිට 2001 දක්වා වසර 15 ක කාලයක් දකුණු අප්‍රිකානු දේශීය ක්‍රිකට් තරග වලටද සහභාගි වීමෙන් දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාංගණ වල තණතීරු පිළිබඳ මනා දැනුමක් ඇති අයෙකි.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට දකුණු අප්‍රිකාවේ සංචාරය කළ 2019 වසරේ පෙබරවාරි මාසයේදී ටෙස්ට් තරග දෙකම ජයගත්තේය. එම තරග දෙකම ජයගත්තේ දඟ පන්දු යවන්නන්ට වාසිදායක ලෙසින් නමක් දිනා ඇති ඩර්බන් සහ පෝර්ට් එළිසබෙත් ක්‍රීඩාංගණවලදීය. ඩර්බන් යනු ශ්‍රී ලංකාවේ දේශුණයට ඉතා ආසන්න තත්ත්වයක් පෙන්නුම් කරන නගරයකි.
මාස 22 කට පමණ ඉහතදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 කින් ජයගනිමින් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමු වැනි ආසියාතික රට බවට පත්වීමටද දිමුත් කරුණාරත්නගේ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පසුගිය වතාවේදී දිමුත් කරුණාරත්න ඇතුළු පිරිසගෙන් ඉගෙන ගත් පාඩම මෙවර ශ්‍රී ලංකා පිලට කියා දීමට උත්සාහ කරන දකුණු අප්‍රිකානුවෝ ටෙස්ට් තරග දෙක සඳහා වේගවත් තණතීරු වලට නම්දරා ඇති සෙන්චූරියන් සහ ජොහැන්නස්බර්ග් ක්‍රීඩාංගණ තෝරාගෙන තිබේ.
පසුගිය වසරේ දකුණු අප්‍රිකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියකදී පාකිස්තානු කණ්ඩායම 3-0 ක පරාජයක් ලැබූ අතර ඒ වන විට පාකිස්තානු පිලේ පුහුණුකරුවා වී සිටියේද මිකී ආතර් මහතාය. එම තරගාවලියේ තරග දෙකක් පැවැත්වී ඇත්තේද සෙන්චූරියන් සහ ජොහැන්නස්බර්ග්හිදීය.
දකුණු අප්‍රිකානුවන් පාකිස්තානු පිල පරාජය කළේ වේග පන්දුවෙනි. එය එවකට දකුණු අප්‍රිකානු පිලේ පුහුණුකරුවා වශයෙන් සිටි ඔටිස් ගිබ්සන් මහතා තම වේග පන්දු යවන්නන්ගේ ආධිපත්‍යය සඳහා උපකාරී වන තණතීරු ඉල්ලා සිටි අවස්ථාවකි.
“අපට ඉතා හොඳ වේග පන්දු යවන්නන් පිරිසක් වගේම දක්ෂ දඟ පන්දු බලඇණියක් තිබෙනවා. අපගේ හොඳම පිතිකරුවන් හය දෙනාට ඕනෑම තත්වයක් සඳහා සූදානම් විය හැකි බවත් මට කියන්න පුළුවන්,” යයි ද මිකී ආතර් මහතා පැවසීය.
දකුණු අප්‍රිකාවේදී මුහුණ දිය හැකි තත්ත්වයන්ට හුරුවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී හොඳින් සූදානම් විය. කෙසේ වෙතත් කොරෝනා වසංගතයේ බලපෑම නිසා පසුගිය ඉරිදා ආරම්භ වීමට නියමිතව තිබූ දින තුනක පුහුණු තරගයක් අවලංගු කිරීම ශ්‍රී ලංකා පිලට තරමක අවාසියක් විය. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පියාසර කළේ පැවැති එල්.පී.එල්. තරගාවලිය අවසන් වීමෙන් දිනකට පසුවය.
"ටෙස්ට් තරගාවලියකට පෙර විස්සයි-20 තරග ක්‍රීඩා කිරීම සුදුසු නොවේ. නමුත් ක්‍රීඩකයින් තරඟකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී තියෙනවා. එය හොඳ තත්ත්වයක්" යයිද පුහුණුකරුවා පවසයි.
සෙන්චූරියන්හිදී ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් සහ කලකට ඉහත ඔහුගේ විශ්වාසවන්තම සගයකුව සිටි මාක් බවුචර් අතර ද්වන්ධ සටනක් වන ආකාරයක්ද පෙනෙන්නට තිබේ. වසර 2005 සිට 2010 දක්වා කාලය තුළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ආතර්ගේ විශ්වාසවන්තම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු වූයේ බවුචර්ය.
"මාර්ක් බවුචර් සහ මම බොහෝ කාලයක් එකට වැඩ කරලා තියෙනවා. මා ඔහුත් සමග කරට කර තරගයක නිරත වන්නට බලාපොරොත්තු වෙනවා" යයි මිකී ආතර් අන්තර්ජාලය ඔස්සේ වාර්තාකරුවන්ට පැවසීය.
"ඔහු ආක්‍රමණශීලී ක්‍රීඩකයෙක් වගේම ඔහු ආක්‍රමණශීලී පුහුණුකරුවෙකුද වනු ඇතැයි මට විශ්වාසයි. ඒ තත්ත්වය අපි දෙන්නාටම ගැළපෙනවා" යයිද ශ්‍රී ලංකා පුහුණුකරුවා පැවසීය.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අවසන් වී දින හතකට පසුව, ජනවාරි 14 වන දින එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ජොහැන්නස්බර්ග්හි සිට කෙළින්ම ගාල්ල බලා පැමිණෙනු ඇත. මෙම හේතුව නිසා දකුණු අප්‍රිකාවේ සිටින ක්‍රීඩකයන් 21 දෙනෙකුගෙන් යුත් සංචිතය දිගටම ජෛව බුබුලක් සේ ක්‍රියාකරනු ඇත.
"ක්‍රීඩකයන් තෝරාගැනීම සහ ඔවුන් එකිනෙකාගේ භූමිකා අතර කිසියම් ස්ථාවරත්වයක් ඇතිකරගත යුතුවෙනවා. ඒත් දකුණු අප්‍රිකානු තරගාවලිය වගේ නෙමෙයි... එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එකක්"
"ඒ නිසා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී අපගේ උපායමාර්ග වගේම ක්‍රීඩකයන්ගේ කාර්යභාරයත් බොහෝ වෙනස් වෙනවා" යයිද මිකී ආතර් මහතා ජොහැන්නස්බර්ග් නුවරදී පැවසීය.
මෙම අභියෝගය තරමක් පහසු වී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරුවා වන අසන්ත ද මැල් මහතා තේරීම් කමිටු සභාපතිවරයාද වීමයි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම කොතැන ගියද තේරීම් කමිටු සභාපතිවරයාගේ ඇස ක්‍රීඩකයන් කෙරේ යොමුවනු ඇත.
"ඒ මොකක් වුණත්, හොඳින් ක්‍රීඩා කරලා, නැවත ශ්‍රී ලංකාවට යන්න කලින් ජයග්‍රහණ ලබා ගන්නේ නම්, අපි ආපසු ශ්‍රී ලංකාවට යන්නේ විශ්වාසනීයත්වයත් එක්කයි. එය ක්‍රීඩා කණ්ඩායමක් තුළ ඉතා බලවත් හැඟීමක්." යයිද මිකී ආතර් මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.