Last Update  :  2024-12-14 14:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකාව ලකුණු 281 ක් ඉදිරියෙන්
ඩර්බන් ටෙස්ට් තරගය

දකුණු අප්‍රිකාව ලකුණු 281 ක් ඉදිරියෙන්

editorial - 2024 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

ඩර්බන් නුවර කිංග්ස්මේඩ් පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (28 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිමේදී ලකුණු 42 කට දැවී ගියේය. එය ශ්‍රී ලංකාවේ වසර 42 ක ටෙස්ට් ඉතිහාසයේදී ටෙස්ට් ඉනිමක් සඳහා වූ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොතට එක්වෙයි. ලෝක ටෙස්ට් ඉතිහාසයේදී කණ්ඩායමක් දැවීගිය 6 වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද එය වාර්තා වේ. 

මුල් ඉනිමේදී ලකුණු 191 ක් ලබාගත් දකුණු අප්‍රිකානුවෝ අද සවස ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියහ. ඒ වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 281 ක් ඉදිරියෙන් සිටි අතර ටි්‍රස්ටන් ස්ටබ්ස් (නොදැවී 17) සහ ටෙම්බා බවුමා (නොදැවී 24) පිටියේ රැඳී සිටි පිතිකරුවෝ වූහ. 

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේදීත් කඩුලු දෙකක් දවාගත් ප්‍රභාත් ජයසූරිය වඩාත්ම ඉක්මනින් ටෙස්ට් කඩුලු 100 ක් දවාගත් පන්දු යවන්නන් අතර සම දෙවැනි ස්ථානය හිමිකරගත්තේය. වසර 128 කට ඉහතදී, (1896 මාර්තු 2 වැනිදා) සිය 16 වැනි ටෙස්ට් තරගයේදී කඩුලු 100 සම්පූර්ණ කළ එංගලන්තයේ ජෝර්ජ් ලෝමෑන් මෙම ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටී. චාල්ස් ටර්නර් (ඕස්ටේ්‍රලියාව), සිඩ්නි බාන්ස් (ඕස්ටේ්‍රලියාව), ක්ලැරී ග්‍රිමිට් (ඕස්ටේ්‍රලියාව), යසීර් ෂා (පාකිස්තානය) සහ ප්‍රභාත් ජයසූරිය (ශ්‍රී ලංකාව) ටෙස්ට් තරග 17 කින් කඩුලු 100 කඩඉම සම්පූර්ණ කර තිබේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමක් මීට පෙර ටෙස්ට් ඉනිමකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ 1994 දී පාකිස්තානු පිලට එරෙහිව මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී ලකුණු 71 කට දැවී යාමයි. ඊට පසුව, 2006 දීත් පාකිස්තානු පිල හමුවේ මහනුවරදීම, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 73 කට දැවී ගොස් තිබිණ. 

වමතින් වේග පන්දු යවන මාකෝ ජැන්සන් (13/7) කළ අති විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 13.5 කදී දැවී ගියේ දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 149 ක මුල් ඉනිමේ වාසියක් ඉතිරි කරමිනි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඉලක්කම් දෙකකින් කියැවිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේ කමිඳු මෙන්ඩිස් (13) සහ ළහිරු කුමාර (නොදැවී 10) පමණි. 

අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ දිවා ආහාරයට පෙර දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 191 කට සීමා කළහ. තම කණ්ඩායම වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ නායක ටෙම්බා බවුමා ලකුණු 70 ක් ලබාගනිද්දී ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නෝ කඩුලු 8 ක් බෙදා ගත්හ. ප්‍රභාත් ජයසූරිය තම 17 වැනි ටෙස්ට් තරගයේදී 99 වැනි කඩුල්ලත් දවාගත්තේය. 

දකුණු අප්‍රිකානුවන්ගේ ලකුණු සංඛ්‍යාව 191 ක් වන නමුත් ඒවායින් ලකුණු 60 කට ආසන්න සංඛ්‍යාවක් පිත්තෙන් පහරදී ලබාගත් ඒවා නොව, පිත්තේ වැදී, කඩුලු රකින්නාට පිටුපසින් හතරේ සීමාව කරා ගිය ලකුණු විය. තවත් ලකුණු 17 ක්ම අතිරේක ලකුණු වී තිබිණ. 

පළමු දිනයේදී නතර කළ තැනින් සිය තර්ජනාත්මක පන්දු යැවීම ආරම්භ කළ ළහිරු කුමාර අද දිනයේ යැවූ 8 වැනි පන්දුවේදීම දකුණු අප්‍රිකානුවන්ගේ පස්වැනි කඩුල්ලත් බිම දමා දුන්නේය. එතැනින් නොනැතුණු වේග පන්දු යවන්නා, වියාන් මල්ඩර්ගේ අතැඟිලි තුවාල කරමින් ඔහු පිටියෙන් ඉවත් කළේ දකුණු අප්‍රිකානු ලකුණු පුවරුවේ දිස්වන ආකාරය කෙසේ වෙතත් ලකුණු 85 ක් ඇතුළත හයවැනි පිතිකරුවාත් ආපසු ක්‍රීඩාගාරයට යවමිනි.
 
විශ්ව ප්‍රනාන්දුට විවේකයක් දිමට පැමිණි ප්‍රභාත් ජයසූරිය සිය තුන්වැනි ඕවරයේදීම දෙවැනි කඩුල්ලත් දවාගත් හෙයින් දකුණු අප්‍රිකානුවෝ අමාරුවේ වැටුණහ. කමිඳු මෙන්ඩිස්ගේ විශිෂ්ට පන්දු රැකීමකින් ජෙරල්ඩ් කොඑට්සි දැවී යන විට ලකුණු 117 කට කඩුලු 7 ක් බිඳ වැටීමෙන් දකුණු අප්‍රිකානුවෝ අලි අමාරුවක වැටී සිටියහ. 

ආක්‍රමණය හැර වෙනත් මඟක් දකුණු අප්‍රිකානුවන්ට නොතිබිණ. 

ඉදිරිපෙළ පිතිකරුවා වන නායක බවුමාට කඩුල්ල රැකගන්නා ලෙසින් කී කේෂව් මහාරාජ් ආක්‍රමණයට පිළිපන්නේය. ප්‍රභාත් ජයසූරියගේ සිව්වැනි ඕවරයේදී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් ද සමගින් ලකුණු 15 ක් ලබාගත් මහාරාජ්, වමත් දඟ පන්දු යවන්නා හමුවේ ලකුණු ලබාගැනීමට උත්සුක වන ආකාරයක් පෙනෙන්නට තිබිණ. සැණෙකින් ජයසූරියට විරාමයක් දුන් නායකයා විසින් විශ්ව ප්‍රනාන්දු පන්දු යැවීමට කැඳවීමත් සමගින් මහාරාජ්ගේ ප්‍රහාරාත්මක ඉනිම නිමා විය. 

පන්දු 35 කින් ලකුණු 24 ක් ලබාගත් මහාරාජ්ගේ ඉනිමට හතරේ පහර 3 ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබිණ. 

මහාරාජ් දැවීයාමට පෙර, පන්දු 93 කින් සිය අර්ධ ශතකය ලබාගත් ටෙම්බා බවුමා, සිය අවසන් පිතිකරුවා වූ කගීසෝ රබාඩා පිටියට පිවිසීමෙන් පසුව ආක්‍රමණයට පිවිසියේය. 

රබාඩාට අනෙක් අන්තය රැකගන්නට කී බවුමා, එතැන් සිට පන්දු 24 කින් ලකුණු 20 ක් ලබාගත්තේ තනි ලකුණු සම්බන්ධයෙන් උනන්දු නොවෙමිනි. ඩර්බන් නුවරට මුදුන්වෙමින් තිබෙන හිරු සිය හිසට ඉහළින් ගිනිගනිමින් තිබියදීත් පන්දුවෙන් ඇස ඉවතට නොගත් ළහිරු කුමාර ආපසු හැරී දිවයමින් රැකගත් උඩපන්දුවෙන් බවුමාගේ ඉනිම නිමා විය. බවුමා පන්දු 117 කින් ලබාගත් ලකුණු 70 ට හතරේ පහර 9 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. 

 


අදහස් (0)

දකුණු අප්‍රිකාව ලකුණු 281 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.