Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ක්‍රිකට් තරගයක් දිගහැරෙමින් තිබියදී එහි ගමන් මග වෙනස් වන්නේ සියුම් සිදුවීමකිනි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (සෙනසුරාදා) පැවැති ආසියානු කුසලාන තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමේ එකම ලකුණක් හෝ ලබාගැනීමට පොරතුව කඩුලු දෙකක් බිඳ වැටිණ. එහෙත් බංග්ලාදේශය අසරණ වූයේ තව්හීද් රිදෝයි දුවද්දී දැවී යාමෙනි.
පිටියේ ඈත කෙළවරක සිට (ඩීප් ස්ක්වෙයාර් ලෙග් සිට) කමිල් මිෂාර ආපසු එවූ පන්දුව කෙළින්ම කඩුල්ලට කඩාවැදීම නිසා තව්හීද් රිදෝයි ලකුණු 8 කට දුවද්දී දැවී ගියේය. ඒ සමගම ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 ට 11 ක් ලෙසිනි.
“මට අවශ්‍ය වූණේ තුන්වැනි ලකුණ නැවැත්වීමයි. ඒක කෙළින්ම කඩුල්ලට කඩාවදීවි කියලා මම කිසි විටෙකත් සිතුවේ නෑ. ඒත් පීඩනය ඇති තැන්වලට වැටුණාම ඒ වගේ දේවල් වෙනවා” යයි දුවද්දී දැවී යාම සම්බන්ධයෙන් කමිල් මිෂාර පැවසීය.
සැබවින්ම එය පන්දු රැකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගන්නා වෙහෙස පිළිබඳ කුඩා සාක්කියක් පමණි.
“අපේ පන්දු රැකීම මනාව සකස් කරගැනීමට අපි බොහෝ කාලයක් ගත කරනවා. අපේ උත්සාහය වෙන්නේ තරගයකදී පන්දු රකින්න ගියාම, අපි පුහුණුවීම් වලදී කරන දේම නැවත නැවතත් කරන්නයි. ඒ නිසා මේ වගේ දේවල් වෙනවා” යයි ද කමිල් මිෂාර කීවේය.
පානදුර මහානාම විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි කමිල් මිෂාර, ඔහුගේ ක්‍රිකට් දස්කම් නිසාම සිය පාසල් දිවියේ අවසන් කාලයේදී කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණියේය. තවමත් 24 හැවිරිදි වන නමුත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ උපාය මාර්ගික කරුණු සම්බන්ධයෙන් මනා වැටහීමක් ඇති අයෙකි.
“මම පන්දුවට පහර දෙන්න එනකොටම පැතුම් මට කිව්වේ කඩුල්ලේ තත්ත්වයට හැඩගැසෙන්න කියලයි. ඔහුට අවශ්‍ය වූණේ මම කාලය අරන් දිගු වේලාවක් පන්දුවට පහර දෙනව දකින්නයි. ඒ අතරේ මම ඕවරයකදී හතරේ පහර තුනක් ගැහැව්වා. ඒ එක්කම මට විශ්වාසනීයත්වය ඇතිවුණා. එතන ඉඳලා මට අවශ්‍ය වුණේ තරගය අවසන් කිරීමයි”
වසර තුනකට පසුව කමිල් මිෂාර නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවන ලද්දේ සිම්බාබ්වේ සංචාරය වෙනුවෙනි. කුසල් ජනිත් පෙරේරා දිගින් දිගටම අසාර්ථකත වීම හේතුවෙන් සිම්බාබ්වේ සංචාරය වන විට අංක 3 පිතිකරුවකු කණ්ඩායමට අවශ්‍ය වී තිබිණ. කමිල් මිෂාර තමන්ට ලැබුණු අවස්ථාවෙන් හොඳ ප්‍රයෝජන ගත්තේය.
සිම්බාබ්වේ පිලට එරෙහිව පිටියට පිවිසි පළමු තරගයේදී (දෙවැනි 20-විස්ස තරගය) එන එන පන්දුවට පිත්ත වැනූ නමුත් ඔහුට ලබාගත හැකිවූයේ ලකුණු 20 කි. විස්සයි-20 ක්‍රිකට් යනු එන එන පන්දුවට පිත්ත විසිකිරීම නොව, පන්දුව ලැබෙන ආකාරයෙන් ඒවාට සංග්‍රහ කිරීම බව ඉක්මනින්ම වටහාගත් වමත් පිතිකරුවා, තුන්වැනි තරගයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය.
අබුඩාබි නුවරදී කමිල් මිෂාරට අර්ධ ශතකය අහිමි වූවත් තරගයේ අවසානය දක්වාම ඔහු නොදැවී පිටියේ සිටියේය. ඉනිම ආරම්භයේදී පන්දුව තරමක් දෝලනය වන බවක් පෙන්නුම් කළ නමුත් නව පන්දුවේ දීප්තිය නැති වූ පසු පිතිකරුවන්ට වාසිදායක තත්ත්වයක් උදා විය.
“මෙතන සුළඟ තියෙන නිසා පිතිකරුවකු වශයෙන් පරිස්සම් වෙන්න ඕනෑ. සුළඟ විශ්වාස කරන්න බැහැ. ඒ හින්දා ලොකු පහරක් ගහන්න යන සෑම වෙලාවකම බුද්ධිමත් විය යුතුයි. අපි අතේ තියෙන කඩුලු තක්සේරු කරමින් ක්‍රීඩා කළ යුතුයි” යයි ද කමිල් මිෂාර ඊයේ තරගයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය.
සනත් ජයසූරිය සිටින ක්‍රීඩකයන්ගේ කාමරය සන්සුන් එකකි. ඔහු ක්‍රීඩකයන්ගේ හිතුවක්කාරකම් මෙන්ම හැකියාවන් ද හොඳින් හඳුනන්නෙකි. ජයසූරියට අවශ්‍ය වන්නේ සියලුම ක්‍රීඩකයන් තම තමන්ගේ සාමාන්‍ය ක්‍රීඩා රටාවට පිවිසෙමින්, තමන් කරන ක්‍රීඩාව ‘පීඩනයක්’ ලෙසින් නොව ‘විනෝදයක්’ ලෙසින් සැලකීමයි.
සනත් සියලුම පිතිකරුවන්ට පූර්ණ නිදහස දී තිබේ. එහෙත් පිස්සු නටන්නට අවසරයක් ඇත්තේම නැත.
“පුහුණුකරුවන් මට කිව්වේ හොඳ ආරම්භයක් ලැබුණොත් තරගය අවසන් කරලාම අපසු ක්‍රීඩාගාරයට එන්න කියලා. මට කරන්න ඕන වුණේත් ඒකමයි”
“මට හොඳ ආරම්භයක් ලැබුණොත් මගේ රට වෙනුවෙන් බොහෝ තරඟ අවසන් කරන්න මම කැමතියි.” යයි ද කමිල් මිෂාර පැවසීය.
ඡායාරූපය - ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.