Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කොදෙව්වෝ උඩුගම් බලා පිහිනති

කොදෙව්වෝ උඩුගම් බලා පිහිනති

editorial - 2021 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 325 ඉලක්කයක් හඹා යමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, තෙවැනි දිනය (20 වැනිදා) සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 15 ක් ලබා සිටියේය.

ඒ අනුව මේ වන විට කොදෙව්වෝ දෙවැනි ඉනිමේ කඩුලු 10 ම අතැතිව ජයග්‍රාහී ඉලක්කය සඳහා තවත් ලකුණු 309 ක් පසුපසින් සිටිති. තරගය නිමාවීමට තවත් දින 2 ක් ඉතිරිව තිබුණද පළමු ඉනිමේදී ලකුණු 149 කට දැවී ගිය කොදෙව්වන්ට මෙය කි‍සිසේත්ම පහසු ඉලක්කයක් නොවනු ඇත. නායක ක්‍රේග් බ්‍රැතිවේට් ලකුණු 5 ක්ද, කිරන් පවෙල් ලකුණු 9 ක්ද ලබා ‍තෙවැනි දිනය අවසන් වන විට කඩුල්ලේ රැදී සිටියහ.

ලකුණු 149 ක වාසියක් සමග ඊයේ සිය දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානු කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 174 ක් පමණි. එහිදී හුදෙකලා පිතිහරඹයක නිරත වූ වැන්ඩර් ඩුසේන් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 75 ක් ලබා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

කොදෙව් ඉනිමේ 9 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි කගිසෝ රබාඩා පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග වේගවත් ලකුණු 40 ක් රැස්කළ අතර ඩුසේන් සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය.

කෙසේ වුවත් පිතිකරුවන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑම නිසා දකුණු අප්‍රිකාවට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට නොහැකි විය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කේමර් රෝච් ලකුණු 52 කට කඩුලු 4 ක්ද, කයිල් මේයර්ස් ලකුණු 24 කට කඩුලු 3 ක්ද බි‍ඳහෙළීමට සමත් වූහ.

 
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 298
(ඩීන් එල්ගා 77, කයිල් වරීන් 27, ක්වින්ටින් ඩි’ කොක් 96, කගිසෝ රබාඩා නොදැවී 21, කයිල් මේයර්ස් 28/3, කේමර් රෝච් 45/3, ශැනන්‍ගේබ්‍රියල් 65/2)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 149
(ශායි හෝප් 43, ජර්මේන් බ්ලැක්වුඩ් 49, වියාන් මල්ඩර් 01/3, කගිසෝ රබාඩා 24/2, ලුංගි න්ගිඩි 27/2, කේෂව් මහරාජ් 47/2)

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 174
(කීගන් ‍පීටර්සන් 18, ඩැන්ඩර් ඩුසේන් 75, කගිසෝ රබාඩා 40, ‍කේමර් රෝච් 52/4, කයිල් මේයර්ස් 24/3)
 
බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 15


-036


අදහස් (0)

කොදෙව්වෝ උඩුගම් බලා පිහිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.