රවිචන්ද්‍රන් අෂ්වින් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඉන්දියාව සහ ඕස්ට්‍රේයාව අතර ඇඩිලේඩ්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 191 කට සීමා විය. දෙවැනි දිනය සඳහා අද (18 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු 09 ක් ලබා සිටියේය.
ඒ අනුව ඉන්දියාව තවත් කඩුලු 9 ක් ඇතැතිව ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 62 ක් ඉදිරියෙන් සිටියි. දෙවැනි දිනය අවසන් වන විට ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් ලකුණු 5 ක් ලබා සිටි අතර රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි ජස්ප්‍රීට් බුම්රා ලකුණු ලබා නොසිටියේය. දෙවැනි ඉනිමේදී දැවී ගිය එකම පිතිකරුවා වූ පිත්වි ෂෝගේ කඩුල්ල බිඳ දැමීමට පැට් කමින්ස් සමත් විය.
පළමු දිනය වූ ඊයේ (17 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 233 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායමට ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 11 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් ලකුණු 53 කට කඩුලු 4 ක්ද, පැට් කමින්ස් ලකුණු 48 කට කඩුලු 3 ක්ද බිඳහෙළීමට සමත් වූහ.
ඉන් අනතුරුව පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 191 කට සීමා කිරීමට රවිචන්ද්‍රන් අෂ්වින් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. ලකුණු 55 කට කඩුලු 4 ක් දවාගත් අෂ්වින් ඕස්ට්‍රේලියානු ඉනිම අඩ පණ කළේය. උමේෂ් යාදව් ලකුණු 40 කට කඩුලු 3 ක්ද, ජස්ප්‍රීට් බුම්රා ලකුණු 52 කට කඩුලු 2 ක්ද දවාගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා අෂ්වින්ට අනගි සහායක් දුන්හ.
ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ටිම් පේන් හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 73 ක් ලබා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය. හතරේ පහර 7 ක් සමග ලකුණු 47 ක් ලබා සිටි මානස් ලැබුෂේන් අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.
ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 244
(මායන්ක් අගර්වාල් 17, චෙතේෂ්වර් පුජාරා 43, විරාට් කෝලි 74, අජින්ක්‍යා රහනේ 42, හනුමා විහාරි 16, රවිචන්ද්‍රන් අෂ්වින් 15, මිචෙල් ස්ටාක් 53/4, පැට් කමින්ස් 48/3)
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 191
(මානස් ලැබුෂේන් 47, ටිම් පේන් නොදැවී 73, මිචෙල් ස්ටාක් 15, රවිචන්ද්‍රන් අෂ්වින් 55/4, උමේෂ් යාදව් 40/3, ජස්ප්‍රීට් බුම්රා 52/2)
ඉන්දීය දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 09
-036