Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International උපුල් චන්දන ඉවත් කිරීමේ සැලසුමක්

උපුල් චන්දන ඉවත් කිරීමේ සැලසුමක්

යොහාන් භාසුර - 2019 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේදී ලබන ජනවාරි මස 17 වැනිදා ආරම්භ වන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ උපුල් චන්දන මහතා ඉවත්කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පන්දු රැකීමේ පුහුණුකරුවකු වන උපුල් චන්දන මහතා ලෝක කුසලාන තරගාවලිය සඳහා යන කණ්ඩායමෙන් ඉවත් කිරීම දැඩි පාඩුවක් විය හැකි බව යොවුන් ක්‍රිකට් පිලෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් කියැවේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සහ කාන්තා ක්‍රිකට් සංචිතවල පුහුණුකරුවකු ලෙස කටයුතු කළ ශ්‍රී ක්‍රිකට් ආයතනයේ පුහුණුකැරුවකු ලෝක කුසලාන තරගාවලියට පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සහභාගි වීමේ සූදානමක් පිළිබඳව ද දැනගන්නට තිබේ.   

උපුල් චන්දන මහතා ඉවත්කිරීමට පැහැදිළි හේතුවක් නොමැති බවට ද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ උපුල් චන්දන මහතා මේ දක්වා ඉවත් කර නොමැති බවත් ඇතැම් විට එය සිදුවිය හැකි බවත්ය.

“උපුල් චන්දන තවම 19 න් පහළ කණ්ඩායමෙන් ඉවත් කර නෑ. නමුත් පුහුණුකරුවන් නැවත ස්ථානගත කිරීමේ ක්‍රියාවලියේදී එවැනි වෙනසක් වෙන්නත් පුළුවන්. ඒක තවම හරියටම කියන්න බෑ” යයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතයේ ක්‍රීඩකයන් 20 දෙනා දඹුල්ලේදී ලබන 2 වැනිදා සිට විශේෂ නේවාසික පුහුණුවක් ආරම්භ කිරීමට නියමිතය. ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ලබන 9 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය ඉන්දීය පිලට එරෙහිව ජනවාරි මස 19 වැනිදා පැවැත්වීමට නියමිතය.  

 


අදහස් (0)

උපුල් චන්දන ඉවත් කිරීමේ සැලසුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.