Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාව 5 වැනි වරටත් ශූරතාව දිනයි
යොවුන් ලෝක කුසලාන

ඉන්දියාව 5 වැනි වරටත් ශූරතාව දිනයි

editorial - 2022 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම ඊයේ (5 වැනිදා) සමත් විය. ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් මහ තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ.

ඉන්දීය කණ්ඩායමක් යොවුන් ලෝක කුසලාන තරගාවලියක් ජයගත් 5 වැනි අවස්ථාව මෙය වේ. මින් පෙර 2000, 2008, 2012 සහ 2018 යන වසරවලදී පිළිවෙලින් මොහොමඩ් කයිෆ්, විරාට් කෝලි, අන්මුක්ත් චන්ද් සහ ප්‍රිත්වි ෂෝ යන ක්‍රීඩකයන්ගේ නායකත්වයන් යටතේ යොවුන් ලෝක කුසලාන දිනාගැනීමට ඉන්දියාව සමත්වී ඇත. මෙවර ඔවුන් ඊට හිමිකම් කීවේ යෂ් ධූල්ගේ නායකත්වය යටතේය.

අවසන් මහ තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක් ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 47.4 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 54 කට මුහුණදුන් නිෂාන්ත් සින්ධු (50) හයේ පහරක් සහ හතරේ පහර 56 ක් සමග සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව දිනේෂ් බානා හයේ පහර 2 කින් ඉන්දීය යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ ශෙයික් රෂීඩ් (50), දෙවැනි කඩුල්ල සඳහා හර්නූර් සිං (21) සමග එක්ව පන්දු 103 කදී ලකුණු 49 ක්ද, තෙවැනි කඩුල්ල සඳහා නායක යෂ් ධූල් (17) සමග එක්ව පන්දු 57 කදී ලකුණු 46 ක්ද එක් කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය. පන්දු 84 කදී වාර්තා වූ රෂීඩ්ගේ අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය. රාජ් බාවා පන්දු 54 කින් ලකුණු 35 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත යොවුන් කණ්ඩායමට රාජ් බාවා සහ රවී කුමාර් ප්‍රමුඛ ඉන්දීය යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 44.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 189 ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ බාවා ලකුණු 31 කඩ කඩුලු 5 ක්ද, කුමාර් ලකුණු 36 කට කඩුලු 4 ක්ද දවාගනිමින් එංගලන්ත යොවුන් ඉනිම සුනුවිසුණු කර දැමූහ.

එංගලන්ත යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජේම්ස් රෙව් පන්දු 116 කදී හතරේ පහර 12 ක් සමග ලකුණු 95 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය.
ජේම්ස් සේල්ස් (නොදැවී 34) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 112 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රෙව් සමත් විය. පන්දු 65 කට මුහුණදුන් සේල්ස්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.


එංගලන්ත යොවුන් පිල - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 189
(ජෝජ් තෝමස් 27, ජේම්ස් රෙව් 95, ජේම්ස් සේල්ස් නොදැවී 34, රාජ් බාවා 31/5, රවී කුමාර් 34/4)

ඉන්දීය යොවුන් පිල - ඕවර 47.4 කදී කඩුලු 6 ක් දැවී 195
(හර්නූර් සිං 21, ශෙයික් රෂීඩ් 50, යෂ් ධූල් 17, නිෂාන්ත් සින්ධු නොදැවී 50, රාජ් බාවා 35, ජොෂුවා බොයිඩන් 24/2, තෝමස් ඇස්පිවොල් 42/2, ජේම්ස් සේල්ස් 51/2)

(ඡායාරූප - අන්තර්ජාතික ක්‍රිකට් සභාව අනුග්‍රහයෙනි)


-036

 


අදහස් (0)

ඉන්දියාව 5 වැනි වරටත් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.