Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner වි:20 ලෝක කුසලානය ගිළිහීම දුක්බරම අවස්ථාවයි

වි:20 ලෝක කුසලානය ගිළිහීම දුක්බරම අවස්ථාවයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා පිල 2012 වසරේ විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයෙන් පරාජයට පත්වීම තම සේවා කාලය තුළ කණගාටුදායකම සිද්ධිය බව පාකිස්තානයට එරෙහිව සාජා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් පසුව ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකරු ධූරයෙන් සමුගන්නා ග‍්‍රැහැම් ෆෝඞ් මහතා පැවසීය.

දකුණු අප‍්‍රිකානු ජාතික ග‍්‍රැහැම් ෆෝඞ් මහතා 2012 වසරේ ජනවාරි මස සිට වසර දෙකක කාලයක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

තෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර, සාජා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී, ග‍්‍රැහැම් ෆෝඞ් මහතා මෙසේ ද පැවසීය.

”සෙසු පුහුණුකරුවන් වගේම මමත් බලාපොරොත්තු වුණෙත් සියලූ තරග ජයග‍්‍රහණය කිරීමයි. නමුත් අපිට දස්කම් දක්වන්න නොලැබුණු අවස්ථාවන් තිබුණා. 2012 වසරේ විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය පරාජයට පත්වීමේ මගේ මතකයේ රැදී තිබෙනවා, ඒ පිළිබදව මා ගොඩක් කණගාටුවට පත් වෙනවා”  

”මාගේ වසර දෙකක කාලයේ කණ්ඩායමේ වෙනස්කම් රැසක් ඇති වුණා. විශේෂයෙන් තනි තනි ක‍්‍රීඩකයන්ගේ දස්කම් කැපී පෙනුණා. සියලූම ක‍්‍රීඩකයන් ඉතාමත් වගකීමෙන් පුහුණුවීම්වල නිරත වී ක‍්‍රීඩකයන් හැටියට තරගයකදී අවස්ථාවන්වලට සාර්ථකව මුහුණ දෙන ආකාරය ප‍්‍රගුණ කළා. එහිදී ජ්‍යෙෂ්ඨ සහ තරුණ යන සියලූම ක‍්‍රීඩකයන් මහන්සි වී පුහුණුවීම් කළා”

”මට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම පිළිබදව හොද මතකයක් මෙන්ම සතුටක් තියෙනවා. කිසිදු බලපෑමකින් තොරව කටයුතු කිරීමේ අවස්ථාව මට ලැබුණා, ඒ නිසා මට පසු කාලකදී සතුටු වෙන්න පුඵවන්. මම මේ ක‍්‍රීඩකයන් සමග කටයුතු කළ ආකාරය අනුව ශ‍්‍රී ලංකාවෙන් නික්ම යෑමට තීරණය කිරීම මට ඉතාමත් අමාරු කටයුත්තක් බවට පත්වුණා”

ග‍්‍රැහැම් ෆෝඞ් මහතා ශ‍්‍රී ලංකා පිලේ ධූර කාලය අවසන් කර එංගලන්තයේ සරේ ප‍්‍රාන්ත පිලේ පුහුණුකරු ධූරය බාර ගැනීමට නියමිතය.
ශ‍්‍රී ලංකා පිලට දක්‍ෂ තරුණ ක‍්‍රීඩකයන් පසුගිය කාලයේ ඇතුළත්වීම පිළිබදව ග‍්‍රැහැම් ෆෝඞ් මහතා මෙසේ අදහස් දැක්වීය.

”ශ‍්‍රී ලංකා පිලේ ඉන්න සුවිශේෂි ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගේ හිඩැස් පිරවීම ඉතාමත් අපහසු කාර්යයක්. නමුත් ශ‍්‍රී ලංකාවට දක්‍ෂ තරුණ ක‍්‍රීඩකයන් ඇති තරම් ඉන්නවා. ඒ ක‍්‍රීඩකයන් අවස්ථාව ලැබුණු පසු දස්කම් අතරට එනවා”

”තරුණ ක‍්‍රීඩකයන්ගෙන් චන්දිමාල් සහ තිරිමාන්න ඉදිරියෙන්ම සිටිනවා. ඒ වගේම කෞෂාල් සිල්වා දස්කම් දැක්වුවා, දිමුත් කරුණාරත්නත් සාර්ථකත්වයට ළගා වෙමින් ඉන්නවා. පන්දු යවන්නන්ගේ අංශය ගත්තොත් වේග පන්දු යවන්නන් සෙසු රටවල්වලට තර්ජනයක් බවට පත්ව සිටිනවා. මම හිතනවා ඉදිරි කාලය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ හොදම කාලයක් කියලා”

”ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානම දේශිය තරගාවලිය දැන් පවතිනවාට වඩා තරගකාරි තත්ත්වයකට පත්කළ හොත් ශ‍්‍රී ලංකාවට මීට වඩා පහසුවෙන් ක‍්‍රීඩකයන් ජාත්‍යන්තර තළයට ගේන්න පුඵවන් වෙයි. නමුත් එය වෙනස් කිරීම පරිපාලනයට විශාල අභියෝගයක් බවට පත්වෙනවාට සැකයක් නෑ”

ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකරු ධූරය නැවත අවස්ථාවක බාර ගන්නා ලෙස ආරාධනා කළහොත් එය බාර ගන්නේ ද යන ප‍්‍රශ්නයට ග‍්‍රැහැම් ෆෝඞ් මහතා පැවසුවේ තමන් කිසිදු අවස්ථාවක අභියෝගවලින් පැන නොයන බවත් මේ වන විට වෙනත් ස්ථානයක අවස්ථාව ලැබී ඇති නිසා පසු අවස්ථාවකදී එවැනි ආරාධනයක් ලැබුණ හොත් සළකා ලබන බවයි.

ශ‍්‍රී ලංකා පිලේ නව පුහුණුකරු ලෙස ශ‍්‍රී ලංකා පිලේ හිටපු සහය පුහුණුකරු වන පෝල් ෆාබ‍්‍රාසස් මහතා පත්කර තිබේ.


අදහස් (0)

වි:20 ලෝක කුසලානය ගිළිහීම දුක්බරම අවස්ථාවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.