Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner අසුන් පිට යාමේ කී‍්‍රඩාවයි තුරඟ තරගයි වෙනස්

අසුන් පිට යාමේ කී‍්‍රඩාවයි තුරඟ තරගයි වෙනස්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අසුන් පිට යෑමේ කී‍්‍රඩාව දියුණු කිරීම සඳහා අශ්වාරෝහකයන්ගේ සංගමය පසුගිය වසර 12 ක කාලය පුරා ඉතාමත් කැපවීමෙන් කටයුතු කර ඇතැයි එම සංගමයේ සභාපති සුරංජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. ශී‍්‍ර ලංකාවේ මෝටර් රථ තරග බිමේ සිටි වේගවත්ම තරගකරුවකුද වූ සුරංජිත් පේ‍්‍රමදාස මහතා වසර කිහිපයක සිටම අසුන් පිට යාමේ කී‍්‍රඩා සමග සම්බන්ධ වී සිටී.

පේ‍්‍රමදාස මහතා පවසන්නේ තුරග තරග සහ අසුන් පිට යාමේ කී‍්‍රඩා එකිනෙකට හාත්පසින්ම වෙනස් බවත් තුරග තරග ඔලිම්පික් කී‍්‍රඩාවක් නොවන නමුත් අසුන් පිට යාමේ කී‍්‍රඩා ඔලිම්පික් තරග සඳහා ඇතුළත් වන බවත්ය.

තම සංගමය සම්බන්ධයෙන් කී‍්‍රඩා ඇමතිවරයා ඇතුළු ඇතැම් කී‍්‍රඩා බලධාරීන් විසින් කරන ලද ප‍්‍රකාශ සම්බන්ධයෙන් කරුණු දක්වන ආශ්වාරෝහකයන්ගේ සංගමය, පසුගිය වසර 12 ක කාලය පුරා අසුන් පිට යාමේ කී‍්‍රඩා කිහිපයක්ම ශී‍්‍ර ලංකාවට හඳුන්වාදීමටත්, එම කී‍්‍රඩා ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රචලිත කිරීමටත් තම සංගමය වෙහෙස නොබලා කටයුතු කළ බව ප‍්‍රකාශ කරයි.

අශ්වාරෝහකයන්ගේ සංගමයේ ආරම්භය කර ඇත්තේ 2001 වසරේදීය. එතැන් සිට මේ දක්වා එම සංගමය විසින් අසුන් මෙල්ල කිරීම (ඩෙ‍්‍රසේජ්), බාධක මතින් අසුන් පැන්නවීම, පෝනින් සමගින් කරන කී‍්‍රඩා (මවුන්ටඞ් ගේම්ස්), දිගු දුර අසු මෙහෙයුම් (එන්ඩියුරන්ස්) සහ අසුන් පිට යමින් පතුරු අමුණාගැනීමේ තරග (ටෙන්ට් පෙගින්) වැනි නව කී‍්‍රඩා ඉසව් ශ්‍රී ලංකාවේ කී‍්‍රඩා දින දර්ශනයට එක්කර ඇතැයි ආශ්වාරෝහකයන්ගේ සංගමය පවසයි.

”අනිකුත් කී‍්‍රඩා වලදී මෙන් නොව මෙම කී‍්‍රඩාවේදී අශ්වයන් රැකබලා ගැනීමට මෙන්ම නඩත්තු කිරීමටද විශාල පිරිවැයක් දැරීමට සිදුවෙනවා....මෙම තරග වලට සහභාගීවන දේශීය තරග කරුවන්ට ඔවුන්ගේම අශ්වයන් නොමැති අතර තරග වලට සහභාගීවීම සඳහා ඔවුන්ට අශ්වයන් හිමිකරුවන්ගෙන් අශ්වයන් තාවකාලිකව ඉල්ලා ගැනීමටත් සිදුවෙනවා”

”තරග පැවැත්වීමේදීත් එවැනිම පිරිවැයක් දැරීමට සිදුවෙනවා. ඒ වුණත් අශ්වයන් සම්බන්ධ තරග සංවිධානය කිරීමට හෝ අශ්වයන් නඩත්තු කිරීමට අශ්වාරෝහකයන්ගේ සංගමය, කී‍්‍රඩා අමාත්‍යංශයෙන් හෝ ජාතික ඔලිම්පික් කමිටුවෙන් අරමුදල් ලබාගෙන නැති බවත් කිව යුතුයි” යයි ආශ්වාරෝහකයන්ගේ සංගමයේ සභාපති සුරංජිත් පේ‍්‍රමදාස මහතා ලංකාදීපට පැවසීය.

කෙසේ වෙතත් මෙම වසර මුල් භාගයේදී ශ්‍රී ලංකා අශ්වාරෝහක කණ්ඩායමක් ඉන්දියාවේ තරග සංචාරයකට සහභාගි වූ අවස්ථාවේදී අශ්වාරෝහකයන්ගේ සංගමයේ ඉල්ලීමකට අනුව ඔවුන් සඳහා අවශ්‍ය ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර ලබාදීමට කී‍්‍රඩා අමාත්‍යංශය කටයුතු කළ බවද පේ‍්‍රමදාස මහතා පැවසීය.

අසුන් පිට යෑමේ කී‍්‍රඩා දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා අශ්වාරෝහකයන්ගේ සංගමය මේ වන විට ලෝක අශ්වාරෝහකයන්ගේ සංගමය සමග සාකච්ඡ කර තිබෙන අතර එම සාකච්ඡ වල ප‍්‍රතිඵලයක් ලෙස 2014 වසරේ මුල් භාගයේදී ලෝක අශ්වාරෝහකයන්ගේ සංගමයේ උපදේශකවරුන් පිරිසක් මෙරටට පැමිණ අශ්වාරෝහකයන් සඳහා පුහුණු කඳවුරක් පැවැත්වීමට නියමිතය.

ජාතික ඔලිම්පික් කමිටුවේ සහයෝගය නොමැතිව මෙම කී‍්‍රඩාව දියුණු කළ නොහැකි බවත්, එහි සහයෝගය අශ්වාරෝහකයන්ගේ සංගමයට නොලැබෙන්නේ නම් විදෙස් පුහුණුකරුවන්ගේ සේවාව, ජාත්‍යන්තර අශ්වාරෝහකයන්ගේ සංගම් වල උදව් උපකාර මෙන්ම ජාත්‍යන්තර තරග වලට සහභාගීවීමට පවා නොහැකි වන බවත් සුරංජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

එම නිසා අසුන් පිට යෑමේ කී‍්‍රඩාව දියුණු කිරීමට සහය වන  ඕනෑම කී‍්‍රඩා අමාත්‍යවරයකු සමග හෝ  ඕනෑම වගකිවයුතු පුද්ගලයකු සමග කටයුතු කිරීමට ශ්‍රී ලංකා අශ්වාරෝහකයන්ගේ සංගමය සූදානමින් සිටින බවද පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

 

අශ්වාරෝහකයන්ගේ සංගමය ආරම්භයේ සිට මේ වන තෙක් සංවිධානය කර ඇති ඇති තරග ඉසව්


2001 - ප‍්‍රධාන රාජකීයතරග - ගල්කිස්ස
2003 - අශ්ව ප‍්‍රදර්ශනය - කොළඹ
2003 - කොන්ෆිෆි වෙරළ තරග - බේරුවල
2003 - ජාතික පශූ වෛද්‍ය වැඩමුළුව
2004 - ජෝන් කීල්ස් වෙරළ තරගාවලිය - බෙන්තොට
2004 - දිගු දුර අසු මෙහෙයුම් තරග - බෙන්තොට
2004 - අශ්ව ප‍්‍රදර්ශනය - කොළඹ
2005 - බාධක මතින් අසුන් පැන්නවීමේ තරග - ඉන්දියාව
2005 - දිගු දුර අසු මෙහෙයුම් තරග - තිස්සමහාරාමය
2006 - කාල්ටන් තරග - තිස්සමහාරාමය
2007 - කාල්ටන් තරග - තිස්සමහාරාමය
2007 - දිගු දුර අසු මෙහෙයුම් තරග - ඉන්දියාවේ, රාජස්තාන්
2007 - ස්වදේෂීය දිගු දුර අසු මෙහෙයුම් තරග - ඉන්දියාවේ, රාජස්තාන්
2008 - බාධක මතින් අසුන් පැන්නවීමේ තරග
2008 - අසුන් මෙහෙයවීමේ සහ පුහුණු කිරීමේ තරග
2008 - පෝනින් සමග කරන කී‍්‍රඩා
2009 - ස්වදේෂීය දිගු දුර අසු මෙහෙයුම් තරග - ඉන්දියාවේ, රාජස්තාන්
2009 - පෝනින් සමග කරන කී‍්‍රඩා
2009 - පී. ආර්. එස්. අසුන් මෙහෙයවීමේ සහ පුහුණු කිරීමේ තරග - කොළඹ
2009 - හෙරිටන්ස් අසුන් මෙහෙයවීමේ සහ පුහුණු කිරීමේ තරග - අහුංගල්ල
2010 - පෝනින් සමග කරන කී‍්‍රඩා
2010 - පී. ආර්. එස්. අසුන් මෙහෙයවීමේ සහ පුහුණු කිරීමේ තරග - කොළඹ
2010 - අසුන් මෙහෙයවීමේ ජාතික තරග සහ පුහුණු කිරීමේ තරග - කොළඹ
2011 - පෝනින් සමග කරන කී‍්‍රඩා
2011 - දකුණු ආසියා වෙරළ තරග - හම්බන්තොට
2012 - අසුන් මෙහෙයවීමේ සහ පුහුණු කිරීමේ තරග
2012 - වික්ටෝරියා පෝනි කඳවුර
2012 - බාධක පැන යෑම සඳහා අසුන් මෙහෙයවීමේ තරග සහ අශ්ව ප‍්‍රදර්ශනය
2013 - පෝනින් සමග කරන කී‍්‍රඩා
2013 - අසුන් මෙහෙයවීමේ සහ පුහුණු කිරීමේ තරග
2013 - අසුන් පිට යමින් පතුරු අමුණාගැනීමේ ආසියානු තරග - ඉන්දියාවේ, දිල්ලිය

 


අදහස් (0)

අසුන් පිට යාමේ කී‍්‍රඩාවයි තුරඟ තරගයි වෙනස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.