Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO

මහේල මහෝඝය

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 15 Comment
A A A

කි‍්‍රකට් මහත්වරුන්ගේ කී‍්‍රඩාවක් යැයි ඇතැමෙක් කියති. එය තවදුරටත් මහත්වරුන්ගේ කී‍්‍රඩාවක් නොවන්නේ යයිද ව්‍යාපාරිකයන්ගේ ගොදුරක් වී ඇතැයිද තවත් අයෙක් කියයි.

කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් වත්මන් ලෝකයා කුමන ආකාරයේ අර්ථකතන සැපයූවත් කි‍්‍රකට් යනු පන්දුවත් පිත්තත් අතර ගැටුමකි. කි‍්‍රකට් කී‍්‍රඩාව බිහිවූ දා පටන් අද දක්වාම නොවෙනස්ව පවතින තත්ත්වය එයයි. එවන් කී‍්‍රඩාවක පන්දුව හැසිරෙන ආකාරය පිළිබඳව පිතිකරුවාට කිසියම් වැටහීමක් තියේ නම් පන්දු යවන්නාට පිතිකරුවා පරාජය කිරීම අසීරු අභියෝගයක් වන්නේමය.

දශක දෙකකට ආසන්න කාලයක් පුරා, කි‍්‍රකට් ලෝකයේ දැවැන්තයන් අතර නිබඳ සැරිසරමින් සිටි මහේල ජයවර්ධනද පන්දුව හැසිරෙන ආකාරය පිළිබඳව අපූරු දැනුමක් සහිත පිතිකරුවෙකි. කී‍්‍රඩකයෙකි.

පන්දු යවන්නන්ට ඔහු හිසරදයක් වූයේත්, නායකයකුට නැතිවම බැරි කී‍්‍රඩකයකු වූයේත්, තරුණ පිතිකරුවකුට මග පෙන්වන්නකු වූයේත්, ප‍්‍රතිවාදී නායකයකුට අභියෝගයක් වූයේත් මහේල ජයවර්ධන සතුව තිබූ පන්දුව හැසිරීම පිළිබඳ හසළ දැනුමයි. ඒ සම්බන්ධයෙන් නිසි තොරතුරු සොයා ගැනීමට නම් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය අත්හදා බැලූ, 2008 ශී‍්‍ර ලංකා - ඉන්දියා ටෙස්ට් තරගාවලියේ සිදුවීම් ආවර්ජනය කළ යුතුය.

විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදයට ලෝකය පුරා පිළිගැනීමක් ලැබුණේත් ඒ ක‍්‍රමවේදයම ඉන්දියානුවන්ට වහකදුරු මෙන් තිත්ත වූයේත් එවකට ශී‍්‍ර ලංකා නායකයා වූ මහේල සතු ‘කි‍්‍රකට් දැනුම’ හෙවත් පන්දු යවන්නාගේ අතින් මිදුණු පසු පන්දුවේ චලිතය පිළිබඳව තිබූ දැනුම නිසාය. එය ඔහුගේ සහජ කුසලතාවම විය.

අනූව දශකයේ මුල් භාගයේදී කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මහේල අනාගතයේ දීප්තිමත් කි‍්‍රකට් තරුවක් වන ලකුණු කල්තියාම පහළ කළේය. වයස 15 න් පහළ කණ්ඩායමට කී‍්‍රඩා කිරීමෙන් අනතුරුව එක එක්ලේම පළමු පෙළ පිලට එක්වූ මහේල තමන්ගේ තරම පෙන්වන්නට පටන් ගත්තේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව, කටුගස්තොටදී ලබාගත් අති විශිෂ්ට ලකුණු 171 කිනි. ඒ වන විටත් යන්තම් 16 වැනි වියේ සිටි මහේල පිළිබඳ කතිකාව ආරම්භ වන්නේ එවකට පැවැති ආර්. පේ‍්‍රමදාස කුසලාන දිවා/රාතී‍්‍ර තරගාවලිය වාර්තා කිරීම සඳහා ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයට (එවකට ඛෙත්තාරාම කී‍්‍රඩාංගණය) එක්ව සිටි කි‍්‍රකට් මාධ්‍යවේදීන් අතුරිනි.

නාලන්දාවේ කී‍්‍රඩකයන් වැඩිදෙනකු බ්ලූම්ෆීල්ඞ් පිල නියෝජනය කිරීමේ සම්ප‍්‍රදායක් එකල තිබුණ හෙයින් පළමුව බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩා සමාජයට එකතු වූ නමුත් කණ්ඩායමේ ස්ථානයක් සොයාගැනීම මහේලට අසීරු විය. ඒ අතරවාරයේදී පාසල් කී‍්‍රඩකයකු ලෙසින් මහේල ජයවර්ධන පෑ විකුම් දෙස විමසිලිමත් දෑසින් බලා සිටි අර්ජුන රණතුංගයෝ, එස්. එස්. සී. කී‍්‍රඩා සමාජයට එක්වන්නැ’යි මහේලට ඇරියුම් කළහ.

”මල්ලි...මෙතනත් තැනක් හොයාගන්න ටිකක් අමාරු වෙයි. ඒත් ලකුණු ගහලා ඇතුළට එන්න බලන්න” යයි අර්ජුනගේ අවවාදය විය.

ඒ මාවන් අතපත්තු, අසංක ගුරුසිංහ, අර්ජුන රණතුංග මෙන්ම ධම්මික රණතුංගද එස්. එස්. සී. පිල නියෝජනය කළ සමය විය. මැදපෙළ සොළවන්නටත් බැරි ලෙසින් කණ්ඩායම් ලයිස්තුවේ අච්චුගසා තිබිණ.

එහෙත් ආරම්භක පිතිකරුවා පිළිබඳ කිසියම් අවිනිශ්චිතතාවක් තිබුණෙන් අනුර ගුණවර්ධන සමග ඉනිම ආරම්භ කිරීමේ කාර්යය මහේලට පැවරිණ. මහේල කිසිදු පැකිළීමක් නොමැතිව පළමු තරගවාරයේදී තමන්ට පැවරුණු කාරිය කළේය. ඒ සාර්ථක ගමනක ආරම්භය මෙන්ම එස්. එස්. සී. තණතීරුව සමග පැවැති දිගුකාලීන හාදකමේ ආරම්භයද විය.

සිය මංගල ටෙස්ට් තරගයේදීම ලෝක වාර්තාවකට දායක වූ මහේල ජයවර්ධන, වසර 17 කට පසුව ටෙස්ට් පිටියෙන් සමුගන්නා අවස්ථාවේදීත් එම ලෝක වාර්තාව එලෙසින්ම පවතිනු දැකීම ඔහුගේ විශිෂ්ටත්වයට දෙවියන්ගෙන් ලද ත්‍යාගයකි.

එදා, 1997 අගෝස්තු මාසයේ මුල් සතියේදී, හා හා පුරා මහේල ටෙස්ට් පිටියට කැඳවූ තරගය සටහන් වූයේ ටෙස්ට් ඉනිමකදී කණ්ඩායමක් විසින් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව (කඩුලූ 6 ට 952) වාර්තා වූ තරගය ලෙසිනි.

මහේලගේ මංගල ටෙස්ට් තරගයේදී ශී‍්‍ර ලංකා පිල කණ්ඩායමක් ලෙසින් පිහිටවූ ලෝක වාර්තාවට පදනම දැමූ තවත් ලෝක වාර්තාවක් වූයේ සනත් ජයසූරිය (340) සහ රොෂාන් මහානාම (225) එක්ව පිහිටවූ  ඕනෑම කඩුල්ලක් සඳහා හොඳම ටෙස්ට් සම්බන්ධතාව වූ ලකුණු 577 වාර්තාවයි. එහෙත් එයින් වසර 9 කට පසුව, කුමාර් සංගක්කාර සමග එක්වූ මහේල, සිය මංගල ටෙස්ට් තරගයේදී ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනා විසින් පිහිටුවන ලද හොඳම ටෙස්ට් සම්බන්ධතාවේ ලෝක වාර්තාවද තමන් සතු කරගත්තේය.

වසර 2006 දී සංගක්කාර සහ මහේල දෙදෙනා එක්ව, එස්. එස්. සී. පිටියේදී, දකුණු අපි‍්‍රකානුවන් හමුවේ කළ පිතිහරඹයෙන් ස්ථාපිත වූයේ ටෙස්ට් ඉනිමකදී  ඕනෑම කඩුල්ලක් සඳහා වන හොඳම සම්බන්ධතාව ලකුණු 624 ක් වීමේ ලෝක වාර්තාව පමණක් නොවේ. වසර 137 ක ලෝක ටෙස්ට් ඉතිහාසයේදී දකුණත් පිතිකරුවකු විසින් තනි ඉනිමකදී ලබාගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවද (ලකුණු 374) එදින පිහිටුවන ලද අතර එය අදටත් පවතින ලෝක වාර්තාවකි.

පිතිකරු තාක්‍ෂණය සම්බන්ධයෙන් මහේල සතුවූයේ අද්වීතීය නිපුණතාවකි. නරඹන්නන් අමන්දානන්දයට පත්කරමින් මිඞ්  ඕන් කලාපයත් එක්ස්ට‍්‍රා කවර්ස් කලාපයත් අතරින් පන්දුව යැවෙන ඩ‍්‍රයිව් පහර කුමක්ද යන්න තීරණය වන්නේ ඒ වන විට පන්දු රකින්නන් රඳවා සිටින ආකාරය අනුවය. තම පහරකින් පන්දුව නිවැරදිව ස්ථානගත කිරීමට මහේල ඒ තරමටම සමතෙකි.

කුඩා මහේලට කි‍්‍රකට් සිප් සතර කියා දුන් ලයනල් මෙන්ඩිස් මහතා මෙන්ම මහේලගේ පාසල් පුහුණුකරුවන් වූ ලෙස්ලි නාරංගොඩ මහතා සහ ජයන්ත සෙනෙවිරත්න මහතා---- වැනි පුහුණුකරුවන්ට පින්සිදුවන්නට කි‍්‍රකට් පොතේ තිබූ සියලූම පහර වලින් සන්නද්ධව සිටි මෙම අලංකාර දකුණත් පිතිකරුවා පසුකලෙකදී ඉතාමත් අපූරු පහර දෙකක් තමන්ට රිසි පරිදි සකසා ගත්තේය.

ඉන් එකක් කඩුලූ රකින්නාගේ අත් ආවරණ අසළටම පන්දුව පැමිණීමෙන් පසුව දිගහැරෙන ‘ලේට් කට්’ පහරයි. දෙවැන්න ස්ලිප් කී‍්‍රඩකයන්ගේ හිසට ඉහළින් තර්ඞ් මෑන් කලාපය හරහා පන්දුව යැවෙන ‘ස්ක්වෙයාර් කට්’ පහරේ නව්‍ය ස්වරූපයයි.

ටෙස්ට්, එක්දින අන්තර්ජාතික සහ විස්සයි:20 අන්තර්ජාතික තරග යන මේ සියලූ ආකාරයේ තරග වලදී ශතක ලබාගත් ලෝකයේ පිතිකරුවන් අතළොස්ස අතරට එක්වීමට මහේලට අවස්ථාව ලැබුණේ පිතිකරු තාක්‍ෂණය සම්බන්ධයෙන් ඔහු සතුවූ මෙම අද්වීතීය කුසලතාව හේතුවෙනි.

විස්සයි:20 කි‍්‍රකට් කී‍්‍රඩාව ආරම්භයේ සිටම සැලකුණේ හික්මීමක් නැති පිතිකරුවන්ට පමණක් යෝග්‍ය, අශෝභන පහර වැපිරුණු, කිසිදු උසස් බවකින් තොර කාණුපල්ලේ කි‍්‍රකට් කී‍්‍රඩාවක් ලෙසිනි. එහෙත් 2010 විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී පිට පිට තරග තුනකදී (නවසීලන්තයට එරෙහිව ලකුණු 81 ක්, (සිම්බාබ්වේට එරෙහිව ලකුණු 100  සහ කොදෙව් පිලට එරෙහිව නොදැවී 98) මහේල ජයවර්ධන කළ පිතිහරඹය විස්සයි:20 කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට නිර්මාණය කර දුන් විශිෂ්ටතම දැන්වීම විය.

ඉනිම තුනකදී මහේලගේ පිත්තෙන් ගලා ආ ලකුණු 279 තුළ කැටිවූයේ ලකුණු පුවරුවේ සටහන් වන ඉලක්කම් වල වටිනාකම පමණක් නොවේ. එය කි‍්‍රකට් කී‍්‍රඩාවේදී පිතිකරුවකු සතුවිය යුතු ක‍්‍රමාණුකූලව ඉනිම ගොඩනැගීම, අලංකාරය, ආක‍්‍රමණය ආදී විශිෂ්ට ලක්‍ෂණ සියල්ලම සංකලනය කරමින් විස්සයි:20 කි‍්‍රකට් ලෝලීන්ට දුන් කදිම තිළිණයක් විය.

වෙළෙන්දන්ගේ උවමනා එපාකම් අනුව සකස් කළ බාල වර්ගයේ සාම්පලයක් වූ විස්සයි:20 කි‍්‍රකට් කී‍්‍රඩාවට සාම්ප‍්‍රදායික කි‍්‍රකට් කී‍්‍රඩාවේ උසස් ගුණාංග ඔබ්බවමින් ඔපමට්ටම් කළ මහේලගේ රුව එතැන් සිට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට නැතිවම බැරි විය.

මහේල ජයවර්ධන අසාර්ථක වූ අවස්ථාද නැත්තේ නොවේ. වරෙක එහි දරුණුතම තත්ත්වයට මුහුණ දුන් මහේලට 2003 ලෝක කුසලාන තරගාවලියේදී තරග 9 කදී ලබාගත හැකිවූයේ ලකුණු 21 ක් පමණි. කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ගේ දස්කම් මතින් ශී‍්‍ර ලංකා පිල අවසන් පූර්ව වටය දක්වා පැමිණියත් මහේලගේ අසාර්ථකත්වය නිසා ඔහුව කණ්ඩායමෙන් නෙරපා දමන්න යයි ඇතැම්හු කීවෝය.

එහෙත් කන්තෝරු කාමර වල සිට, රූපවාහිනියෙන් පමණක් කි‍්‍රකට් තරග නරඹන, තේ කෝප්පයේ නැතහොත් සිගරැට්ටුවේ විචාරකයන්ට වඩා කි‍්‍රකට් තේරීම් කමිටු නිලධාරීන්ට මහේල පිළිබඳ විශ්වාසයක් තිබිණ. එම විශ්වාසයේ ප‍්‍රතිඵල අද වන විට මෙරට කි‍්‍රකට් ලෝලීහු දෑසින් දකිමින් සිටිති.

යන්තම් දෙසතියකට ඉහත එස්. එස්. සී. පිටියේදී දකුණු අපි‍්‍රකානුවන් හමුවේ ලබාගත් අති විශිෂ්ට ලකුණු 165 සහ පසුගිය සතියේ ගාල්ල කී‍්‍රඩාංගණයේදී පාකිස්තානුවන් හමුවේ ලබාගත් ලකුණු 59 ත්, අදින් වසර 16 කට ඉහතදී ගාල්ල කී‍්‍රඩාංගණයේදී නවසීලන්ත පිලට එරෙහිව ලබාගත් ලකුණු 167 ත් අතර විශිෂ්ටත්වයේ වෙනසක් නොතිබිණ. වෙනසක් තිබුණා නම් ඒ කැලැන්ඩරයේ සටහන් වූ දින වකවානු වල පමණි.

කි‍්‍රකට් පිටියේදී මහේල හොඳ මහත්මයෙකි. ඒ වෙනුවෙන් ඔහු අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සම්භාවනාවටද පාත‍්‍ර වී ඇත්තෙකි. එහෙත් මනුස්සයෙකි. ඇතැම් අවස්ථාවන්හිදී ප‍්‍රතිවාදී කී‍්‍රඩකයන්ගේ නොහික්මුණු කි‍්‍රයාහමුවේ කෝපයෙන් පුපුරා හැළුණද ඒ සියල්ල අමතක කර තරගයට අවතීර්ණ වීමට ඔහුට ගතවන්නේ විනාඩි කිහිපයක් පමණි.

ටෙස්ට් සහ එක්දින තරග දෙවර්ගයේදීම ලකුණු 11,000 සීමාව පසුකර ගිය මහේල ජයවර්ධන විසින් එම තරග දෙවර්ගයේදී රැකගන්න ලද උඩපන්දු සංඛ්‍යාව 406 කි. ඒ ටෙස්ට් උඩපන්දු 202 ක් සහ එක්දින උඩපන්දු 204 ක් වශයෙනි. එහෙත් ඒ උඩපන්දු 406 න් වඩාත්ම වටිනා උඩපන්දුව විය හැක්කේ මුත්තයියා මුරලිදරන්ගේ අවසන් ටෙස්ට් තරගයේදී ඔහුගේ 800 වැනි කඩුල්ල දවාගැනීම සඳහා රැකගත් ප‍්‍රාග්යන්  ඕජාගේ උඩපන්දුවයි.

ගාල්ල කී‍්‍රඩාංගණයේදී පැවැති ශී‍්‍ර ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දිවා ආහාරයෙන් පසුව ලෙග් ස්ලිප්හි පන්දු රකිමින් සිට මහේල රැකගත් එම උඩපන්දුව නිසා ශී‍්‍ර ලංකාවේ මෙන්ම ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් අති විශිෂ්ට මෙහෙවරක නිරත වූ මුත්තයියා මුරලිදරන්ට සතුටු සිතින් සමුගන්නට අවස්ථාවක් ලැබුණේ එම තරගයෙන් ශී‍්‍ර ලංකා පිලට කඩුලූ 10 ක ජයක්ද හිමිවූ බැවිනි.

මහේල එදා උඩපන්දුව අතහැරියා නම් අනෙක් අන්තයෙන් ඉතාමත් තර්ජනාත්මක ලෙසින් පන්දු යවමින්, ඒ වන විටත් ලකුණු 50 කට කඩුලූ 5 ක් දවාගෙන සිටි ලසිත් මාලිංග විසින් අවසන් පිතිකරුවා දවාගැනීමත් මුරලිදරන්ට කඩුලූ 799 දී නතර වීමටත් සිදුවනු නිසැකය.

”මාලිංග පන්දු යවන විට ඔහු අවසන් කඩුල්ල දවාගනීවිද කියලාත් මට හිතුණා” යයි තරගයෙන් පසුව මුරලිදරන් කීවේය.

ටෙස්ට් තරග 38 කදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ මහේල ඒවායින් තරග 18 කදී සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා මෙහෙයවමින් 47.36 % ක ජයග‍්‍රාහී ප‍්‍රතිශතයක් රඳවා ගත්තේය. එයින් කියැවෙන්නේ වසර 32 ක ටෙස්ට් ඉතිහාසයක් ඇති ශී‍්‍ර ලංකාවේ සාර්ථකම ටෙස්ට් නායකයා වන්නේද මහේල ජයවර්ධන බවයි. එක්දින තරග 126 කදී ශී‍්‍ර ලංකා පිල මෙහෙයවූ මහේල ජයවර්ධන ඒවායින් තරග 68 කදී තම කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේ 53.96 % ක සාර්ථකත්වයක් රඳවා ගනිමිනි.

අයි. පී. එල්. තරගාවලියට කී‍්‍රඩා කිරීම සම්බන්ධයෙන් ඇතැම්හු විවිධ අවස්ථාවන්හිදී මහේලට චෝදනා කළහ. එහෙත් එසේ චෝදනා කළ පිරිස තමන්ගේ අදහස් සම්බන්ධයෙන් තමන්ටම අවංක වූයේද නැතහොත් අයි. පී. එල්. සංවිධායකයන් සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අතර ඇති ගිවිසුම් පිළිබඳව තත්වාකාරයෙන් දැන සිටියාදත් යන්න විමසිය යුතු කාරණාවකි.

මහේලට පමණක් නොව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ගිවිසුම්ගත කිසිදු කී‍්‍රඩකයකුට එහි අවසරය නොලබා අයි. පී. එල්. හෝ වෙනත් තරගාවලියක් වෙනුවෙන් මුදලට කී‍්‍රඩා කළ නොහැක. වෙනත් සමාගමක් (අයි. පී. එල්./බිග් බෑෂ්/කැරීබියන් පි‍්‍රමියර් ලීග් වැනි තරගාවලිවලදී) වෙනුවෙන් කී‍්‍රඩා කරන්නේ නම් ඒ සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවසරය ලබාගත යුතුමය.

අනෙක් අතට හිපොක‍්‍රටීස්ගෙන් වරම් ලත් වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය සේවාවේ (චැනල් සේවයේ) යෙදෙත් නම්, දුයිෂෙන් කුලයෙන් පැවත එන ගුරුවරු මුදල් වෙනුවෙන් උපකාරක පන්ති (ටියුෂන් පන්ති) පවත්වත් නම්, දෙවියන්ගේ පූජාසනයට කැවිලි පළතුරු වට්ටිය ඔසවා දෙන කපු මහත්වරු නරයන්ගේ පඬුරු බාරගනිත් නම්, කි‍්‍රකට් කී‍්‍රඩකයන් තමන්ගේ හැකියාවෙන් උපයා ගැනීම සම්බන්ධයෙන් කිසිවකු උරණ වන්නේ ඇයි? ඒ පිළිබඳව ඊර්ෂ්‍යා සහගත හැගීමෙන් මිරිකෙන්නේ ඇයි?

මහෝඝයක් යනු ගංවතුරක් වන් විශාල ජල ප‍්‍රවාහයකි. මහේල ජයවර්ධනද මහෝඝයක් වන් කී‍්‍රඩකයෙකි.

හසුවන සියලූ දේ අවශෝෂණය කරගනිමින් ඉදිරියේ ඇති සියලූ බාධක බිඳ ගලා යන්නා වූ මහෝඝය තමන් පසුකර ආ සියලූ ප‍්‍රදේශ පිරිසිදු කරමින් නැවුම් බවක් ඇතිකරයි. අනතුරුව එළැඹෙන්නේ මහෝඝයට හසුවූ ප‍්‍රදේශයේ සශී‍්‍රක සමයයි.

ටෙස්ට් වරම් ලත් මුල් කාලයේදී පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු සකස් කරමින් තරගයෙන් පරාජය නොවී සිටීමට උත්සාහ කළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවට ජයග‍්‍රහණය සොයා යාමේ ජවය එක්වූයේ සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා සහ මහේල ජයවර්ධන වැනි කී‍්‍රඩකයන්ගේ පිතිවලින් ඉතා ඉක්මනින් ලකුණු ගලා ඒමත් සමගය. අසූව දශකයේදී ඉතාමත් මන්දගාමී  වූ ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ පිතිහරඹය නිදහසේ ලකුණු සොයා ගිය අර්ජුන-අරවින්ද-ජයසූරිය-මහේල-මාවන්-සංගක්කාර වැනි පිතිකරුවන් සමග වේගවත් විය. ඒ හේතුවෙන් අවසන් දිනයේ කඩුලූ දවාගැනීමට පන්දු යවන්නන්ට  ඕනෑ තරම් කාලයත් ලකුණුත් ඉතිරිව තිබිණ.

ශී‍්‍ර ලංකා ටෙස්ට් කී‍්‍රඩාවේ වර්තමාන සාර්ථකත්වයේ රහස එයයි. සතියකට ඉහතදී ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා, පළමුවෙන් පන්දුවට පහර දෙමින් මුල් ඉනිමේ ලකුණු 451 ක් ලබාගත් නමුත් පාකිස්තානයට පරාජයෙන් ගැලවී ගත නොහැකි විය.

මහේල වැනි කී‍්‍රඩකයන් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට කළ මෙහෙවර එයයි. එය ලකුණු පුවරුවේ හෝ වාර්තා පොතේ ඇති ඉලක්කම් වලින් කියැවෙන්නක් නොවේ.


අදහස් (15)

මහේල මහෝඝය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.