Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තිසර පෙරේරා (34/4) සහ තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 50) දෙදෙනාගේ දස්කම් මත රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදි පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී කඩුලු 7 කින් පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2-1 ක් ලෙසින් එක්දින තරගාවලියේ ජයද අත්කරගත්තේය. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගය පරාජය වූ නමුත් දෙවැනි සහ තුන්වැනි තරග ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය මෙන්ම එක්දින තරගාවලියද ජයගත්තේය.
ලකුණු 101 ක ඉතාමත් පහසු ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ තිලකරත්න ඩිල්ෂාන් පන්දු 54 කට මුහුණ දෙමින් සිය අර්ධ ශතකය ලබාගත් අතර තරගය ජයගැනීමට ගැසූ ඔහුගේ 9 වැනි හතරේ පහර තරගයේ ජයග්‍රාහී ලකුණද විය.
පාකිස්තානු පිල ලකුණු 102 කට සීමා කෙරුණු අතර තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා පිලේ ඉලක්කය ඕවර 48 කදී ලකුණු 101 ක් ලෙස සංශෝධනය කෙරිණ. තරගය අවසන් වන විට ශ්‍රී ලංකා පිල කඩුලු 3 කට ලකුණු 104 ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඉතාමත් සාර්ථක ආරම්භයක් ලබාගත් තිලකරත්න ඩිල්ෂාන් සහ උපුල් තරංග දෙදෙනා දිවා ආහාරය සඳහා තරගය නතර කිරීමට පෙර කඩුල්ලක් දැවී ලකුණු 46 ක් පුවරුවට එක් කළහ.
ලකුණු 13 ක් අතරවාරයේදී උපුල් තරංග සහ කුමාර් සංගක්කාර දැවී ගිය නමුත් ඩිල්ෂාන් සමග එක්වූ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ. ජයග්‍රහණයට ලකුණක් මෑතින් සිටියදී මහේල ජයවර්ධන දැවී ගියේය. අනතුරුව පිටියට පැමිණි නායක මැතිව්ස් ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණ ලබා නොගෙන අර්ධ ශතකයත් ජයග්‍රහණයත් එකම පහරකින් සැමරීමේ අවස්ථාව ඩිල්ෂාන්ට පැවරීය. එය ඩිල්ෂාන්ගේ 38 වැනි එක්දින අර්ධ ශතකය විය.
වර්ෂාව පැමිණීමට පෙර පාකිස්තානු පිලේ කඩුලු 8 ක් බිම දමාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පාකිස්තානු ඉනිම ලකුණු 102 කට සීමා කළහ. වර්ෂාව පැමිණෙන විට ඕවර 26 කදී ලකුණු 81 කට කඩුලු 8 ක් අහිමි කරගෙන සිටි පාකිස්තානු පිලට වර්ෂාවෙන් අනතුරුව තරගය ආරම්භ වීමෙන් පසුව ලබගත හැකිවූයේ තවත් ලකුණු 21 ක් පමණි.
පාකිස්තානු පිල නොසිතූ අමාරුවක දැමූ තිසර පෙරේරා (34/4), ධම්මික ප්‍රසාද් (25/2) ලසිත් මාලිංග, රංගන හේරත් සහ සීකුගේ ප්‍රසන්න බිඳ වැටුණු කඩුලු සියල්ලම බෙදාහදා ගත්හ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් නමුත් තරගයේ 19 වැනි ඕවරය වන විට ලකුණු 55 කට කඩුලු 5 ක් අහිමි කරගෙන සිටි පාකිස්තානු පිල අලි අමාරුවක වැටී තිබිණ. ඒ අතරවාරයේදී තේරීම් කමිටු නිලධාරීන්ගේ දැඩි පිරික්සුමට ලක්වී සිටින තිසර පෙරේරා තමන්ගේ උපරිම දස්කම් පෙන්වීමට යාම නිසා පාකිස්තානු පිතිකරුවන්ට හුස්ම ගැනීමටවත් ඉඩක් නොලැබිණ.
ඕවර 8 ක් පමණක් යවමින් ලකුණු 34 කට කඩුලු 4 ක් දවාගත් තිසර පෙරේරා ඉතාමත් දක්ෂ අයුරින් උඩපන්දු දෙකක්ම රැකගනිමින් පාකිස්තානු පිතිකරුවන් හයදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීමට දායක විය.
ධම්මික ප‍්‍රසාද්ගේ දෙවැනි ඕවරයේ තුන්වැනි පන්දුට එකතැන හිටගෙන පිත්ත දැමූ සර්ජීල් ඛාන්ගේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව දෙවැනි ස්ලිප් හි සිටි මහේල ජයවර්ධන සොයා ගියේය. මහේලගේ 205 වැනි එක්දින උඩපන්දුව එයයි.
ලකුණු 14 කට කඩුලු 3 ක් බිඳ වැටීම නිසා වැටුණු අමාරුවෙන් ගොඩ ඒමේ බලාපොරොත්තුවෙන් වමත් පිතිකරුවකු පිටියට කැඳවූ නායක මිස්බා උල් හක් ඉතාමත් උපක්‍රමශීලී ලෙසින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් සිටියද ඩිල්ෂාන්ගේ වේගවත් පන්දු විසිකිරීමක් මිස්බාගේ උත්සාහයට හරස් විය.
පාකිස්තානු ඉනිමේ විනාශකාරී මොහොත වූයේ මිස්බා උල් හක් දුවද්දී දැවී යාමයි. පොයින්ට් හි පන්දු රකිමින් සිටි ඩිල්ෂාන් දෙසට පන්දුව තල්ලු කර යවමින් ලකුණක් කරා ගිය මිස්බාට වඩා ඩිල්ෂාන්ගේ දකුණත වේගවත් විය. පාකිස්තානු නායකයාගේ ඉනිම ලකුණු 18 කට සීමා වූ අතර වෙනදා වේගවත් පිතිහරඹයකට පිවිසෙන උමාර් අක්මල්ගේ ඉනිම ලකුණු 7 කින් නිමා කිරීමට තිසර පෙරේරාට හැකිවිය.
අක්මල් දැවී යාමෙන් ලකුණු පුවරුව ලකුණු 55 කට කඩුලු 5 ක් සේ වෙනස් වූ අතර එතැන් සිට පාකිස්තානු පිලට ගොඩ ඒමක් නොවිණ.
තිසරගේ බවුන්සර් පන්දුවකට හුක් පහරක් ගැසීමට ගිය අක්මල්ගේ පිත්තේ දාරයේ ගැටුණු පන්දුව ඉහළ යද්දී ඒ පසුපස හඹා ගිය ලසිත් මාලිංග ඉතා දක්ෂ අන්දමින් උඩපන්දුව රැකගත්තේ ලකුණු 55 දී පස්වැනි කඩුල්ලත් බිම දමමිනි.
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.