Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සුගතදාස ක්‍රීඩාංගණය පාපන්දු සම්මේලනයට

සුගතදාස ක්‍රීඩාංගණය පාපන්දු සම්මේලනයට

editorial - 2021 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

♦ අනුරාධපුරයේ ජනාධිපති මන්දිරයේ පැවැති විශේෂ හමුවකට එක්වූ ගිආනි ඉම්සැන්ටිෆෝ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් යන මහත්වරු (ඡායාරූපය - ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අනුග්‍රහයෙනි)

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගනයේ පාලනය ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට පැවැරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත පළ කර තිබේ. අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති ගිආනි ඉම්සැන්ටිෆෝ මහතාගේ එක් දින ශ්‍රී ලංකා සංචාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණු අවස්ථාවේ පැවැති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සිය අදහස් ඉදිරිපත් කර තිබේ.

ඉම්සැන්ටිෆෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මුණගැසීම අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී පසුගිය සිකුරාදා (19 වැනිදා) සිදු විය. එම අවස්ථාවට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් යන මහත්වරු ද සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා තිබෙන අග්‍රාමාත්‍යවරයා, කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගනය දේශීය පාපන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා පාපන්දු ආයතනයට ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවත්, පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා එහිදී අග්‍රාමාත්‍යවරයාට පවසා ඇත්තේ, සුගතදාස ක්‍රීඩාංගනයේ පාලනය බාර ගැනීමට වඩා අලුතෙන් ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සඳහා සුදුසු ඉඩමක් පාපන්දු ආයතනයට ලබා දීම වඩාත් ප්‍රායෝගික බවයි.

කෘත්‍රිම මලල ක්‍රීඩා ධාවන පථයක් ද සහිත සුගතදාස එළිමහන් ක්‍රීඩාංගනය, මලල ක්‍රීඩා ඇතුළු වෙනත් ක්‍රීඩා ඉසව් කිහිපයක්ම සඳහාත් යොදා ගන්නා බැවින් පාපන්දු ක්‍රීඩාව සඳහාම එහි වැඩි ඉඩකඩක් ලබා ගැනීමේ දුෂ්කරතාව එහිදී ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයා අග්‍රාමාත්‍යවරයාට අවධාරණය කර තිබේ. මෙම  සාකච්ඡාවට සහභාගි වූ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ගිආනි ඉම්සැන්ටිෆෝ මහතා ශ්‍රී ලංකාවේ අලුතින් ඉදිකිරීමට යෝජනා කෙරෙන ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයේ එම සියලු ඉදිකිරීම් සඳහා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් මූල්‍යාධාර ලබා දීමට කටයුතු කරන බව පැවැසීය.

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව නැංවීමේ ආරම්භයක් ලෙස මෙරට පාසල් පාපන්දු ක්‍රීඩාව මුළුමනින්ම වෙනසකට ලක්කළ යුතු බවට එහිදී ශ්‍රී ලංකා පාපන්දු සභාතිවරයා අවධාරණය කර තිබේ.  ඒ අනුව, ‘පාපන්දු ක්‍රීඩාව පාසලට’ නමින් මුළු දිවයිනම අනාවරණය වන පරිදි පාසල් පාපන්දු පුහුණු හා තරග සැලැස්මක් ක්‍රියාවට නැංවීමට තීරණය වී තිබේ. මේ වන විට සමස්ත ලංකා පාසල් පාපන්දු තරග මාලා සඳහා සහභාගි වන පාසල් ගණන 450 කට ආසන්නය.

රටේ ආසන්න වශයෙන් බාලක හා බාලිකා පාසල් 10,000 කට වැඩි ගණනක් ඇති බැවින්, දැනට පාපන්දු ක්‍රීඩාවේ නිරත පාසල් ගණන ක්‍රීඩාවේ උන්නතියට ප්‍රමාණවත් නොවන බව මෙම සාකච්ඡාවේදී අදහස් පළ වී තිබේ.

අනුරාධපුරයේදී ඉම්සැන්ටිෆෝ මහතා හා ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් අතර සිදු වූ හමුව පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා, කෝට්ටේ බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය හා ක්‍රීඩාංගනය පිහිටි භූමි භාගය ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩා සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී පාපන්දු ආයතනයට උපදෙස් ලබාදුන් බව පැවැසීය.

“සුගතදාස ක්‍රීඩාංගනයේ පාලනය ලබාගැනීම ගැන අපි අවසන් තීරණයකට ඇවිත් නෑ. හැබැයි අලුතින් පාපන්දු ක්‍රීඩාංගනයක් පාපන්දු ආයතනය සඳහාම ඉදිකරවා ගැනීමටයි අපි වඩාත් උනන්දු වෙලා ඉන්නේ. ඒ සඳහා අපට අක්කර 8 ක් හෝ 10 ක් අතර භූමි ප්‍රමාණයක් ප්‍රමාණවත්. අගමැතිවරයාත් ජනාධිපතිවරායත් අපට දැනුම් දුන්නේ වහාම ගැළපෙන ඉඩමක් තිබෙනවා නම් එය ලබා දෙන්න දැනුවත් කරන්න කියලයි.”

මේ අතර සිකුරාදා සිදු කළ ශ්‍රී ලංකා සංචාරයේදී ඉම්සැන්ටිෆෝ මහතා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති විශේෂ පිළිගැනීමේ උත්සවයකට ද සහභාගි විය. ඒ සඳහා දිවයිනේ පාපන්දු ලීග නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

එහිදී උත්සවය ඇමතූ ඉම්සැන්ටිෆෝ මහතා පැවැසුවේ, ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ ඉහළ ප්‍රවර්ධනයක් අපේක්ෂා කරන්නේ නම්, අනිවාර්යයෙන්ම මෙරට පාපන්දු ක්‍රීඩාව පාසල් සමග බද්ධ විය යුතු බවයි.  ඒ සඳහා දියත් කෙරෙන ඕනෑම වැඩසටහනකට අන්තර්ජාතික පාපන්දු සමුළුවේ සහයෝගය හා ආධාර අනුබලය ලබා දෙන බවත් ඔහු පැවැසීය. තමා ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන අවසන් සංචාරය මෙය නොවන බවත්, සිව්කොන් තරගාවලියක අවසන් තරගයට ප්‍රවේශ වීම තුළ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ වත්මන් නැගීමක් තමාට නිරීක්ෂණය වූ බවත් ඔහු උත්සව සභාව අමතමින් වැඩිදුරටත් පැවැසීය.

සිකුරාදා ඉම්සැන්ටිෆෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවසන් වූයේ, එදින රාත්‍රියේ ශ්‍රී ලංකාව හා ෂීසෙල්ස් රාජ්‍යය අතර රිඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති ‘මහින්ද රාජපක්ෂ කුසලාන’ සිව්කොන් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.  කෙසේ වුවත්, මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා ලබා සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම අවස්ථාවට සහභාගි නොවීය.

ෂීසෙල්ස් රාජ්‍යය දඬුවම් පහර 3-1කට ජයගත් මෙම අවසන් මහා තරගයේ ජය සංකේත ප්‍රදානෝත්සවය ගිආනි ඉම්සැන්ටිෆෝ මහතා අතින් සිදු කෙරුණි.  තරග නැරැඹීම සඳහා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ද පැමිණ සිටියේය.

 


අදහස් (0)

සුගතදාස ක්‍රීඩාංගණය පාපන්දු සම්මේලනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.