Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සිවුකොන් තරගාවලිය කොළඹදී

සිවුකොන් තරගාවලිය කොළඹදී

editorial - 2024 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ලෝක කුසලාන සුදුසුකම් තරග වට පරාජිතයන් සඳහා හඳුන්වා දෙන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් ලබන මාර්තු 18 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවසයි.

අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ලෝක කුසලාන (2026) පරාජිතයන් සඳහා හඳුන්වා දෙන ලෝක ශූරතා (වර්ල්ඩ් සීරිස්) තරග මාලාව යටතේ මෙම නවතම තරගාවලිය පැවැත්වේ. ඒ සඳහා සත්කාරය දරන ශ්‍රී ලංකාව ඇතුළුව ආසියානු, අප්‍රිකානු හා ඕෂනියා යන කලාපවලින් තවත් රටවල් තුනක් සම්බන්ධ කර ගැනේ.

එම රටවල් ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.

ලෝක කුසලාන (2026) තරගාවලියේ සුදුසුකම් තරග වට පරාජිතයන්ට තවත් වසර කීපයක්ම යනතුරු ජාත්‍යන්තර තරග සඳහා ලැබෙන අවස්ථාව අවම වන බැවින් ඔවුන් වෙනුවෙන් මෙම ලෝක ශූරතා තරග මාලාව හඳුන්වා දේ.

 මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා මෙසේ පැවසීය.

‘‘ආසියානු කුසලාන (2024) තරගාවලියේ සමාරම්භක උත්සවයට සහභාගිවීමට කටාර් දෝහා නගරයට පැමිණ සිටි අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ගිආනි ඉම්පැන්ටිනෝ මහතා සමග ආසියානු පාපන්දු සමුළුව සාකච්ඡාවක් පැවැත්වුවා.

එතනදී මෙම නවතම තරග මාලාව පිළිබඳව අදහස ඉදිරිපත් වුණා. ඔහු කිව්වේ කොළඹදී (2021) පැවති අගමැති සිව්කොන් තරගාවලියේ ආකෘතියට අනුව කලාප කීපයක රටවල් එක තරගාවලියකට නිර්දේශ කර ගනිමින් අලුත් තරග මාලාව හඳුන්වාදීම යෝග්‍යයි කියලයි. ඒ අනුව ආසියානු කලාපය කේන්ද්‍ර කර ගනිමින් මෙම තරගමාලාව හඳුන්වා දෙන්න පළමුව තීරණයකට පැමිණියා.’’

කොළඹදී මාර්තු මාසයේදී පැවැත්වෙන තරගාවලිය සඳහා බර පැන දරන්නේ අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විසිනි. ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙම සිව් කොන් තරගාවලියේ වැඩිම ප්‍රසාද ලකුණු ලාභින් වන කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට තෝරා ගැනේ.

කොළඹ සුගතදාස පිටියේ මෙන්ම රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණ පිටියේද මේ වනවිට විදුලි ආලෝක ධාරා පද්ධතිවල දෝෂ පවතින බැවින් තරගාවලිය කොළඹදී පවත්වන ක්‍රීඩාංගණය පාපන්දු ආයතනය මෙතෙක් හඳුනාගෙන නැත.

මේ අතර මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව උපරිම මුහුණ දෙන (අවසන් තරගයට නිර්දේශ ලබන්නේ නම්) තරග හතර ඇතුළුව 2024 වසර අවසානයට පෙර අවම ජාත්‍යන්තර තරග නවයකට ශ්‍රී ලංකාව සහභාගි කිරීම සඳහා සැළසුම් සූදානම් කරන බව ජස්වර් උමාර් මහතා පවසයි.

එහි අරමුණ ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 199 වැනි ස්ථානයට ළඟා කිරීමයි. මේ වනවිට ශ්‍රී ලංකාව එහි පසුවන්නේ 204 වැනි ස්ථානයේය.

මේ දක්වා වසර 20ක කාලයකින් ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 200 න් උඩට පැමිණ නැත. මේ වනවිට මෙම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට පහළින් සිටින රටවල් පිළිවෙළින් වන්නේ ගුවාම් (205) කුක්ස් දූපත් (206), බ්‍රිතාන්‍ය වර්ජිනියා දූපත් (207), එක්සත් ජනපද වර්ජිනියා දූපත් (208), ඇන්ගෝලාව (209) හා ශාන්ත මරිනා (210) යන රාජ්‍යයන්ය.

 අංක එකට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි දැන් පසුවන්නේ 2022 කටාර් ලෝක කුසලාන දිනූ ආජන්ටිනාවයි. 2023 ඔක්තෝබර් 17 වැනිදා ශ්‍රී ලංකාව මෙතෙක් සිය අවසන් ජාත්‍යන්තර පාපන්දු තරගයට කොළඹදී සහභාගි වෙමින් යේමනය සමග ලෝක කුසලාන (2026) සුදුසුකම් මූලික තරගය සම කිරීමට (1-1) සමත් විය.

 ආසියාවේ දැන් පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවේ ස්ථා​නය 46 කින් 45 වැනි ස්ථානයයි. ශ්‍රී ලංකාවට පහළින් එහිදී පසුවන්නේ ගුවාම් රාජ්‍යය (46) පමණි.

 ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය 2024 ජනවාරි 12 සිට පෙබරවාරි 10 වැනිදා දක්වා නිර්දේශිත රටවල් 24ක කණ්ඩායම් සහභාගිත්වයෙන් පැවැත්වෙන්නේ දෝහා කාටාර් හිදීය. මෙහි සමාරම්භක උත්සවයට ආරාධනා ලබමින් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා කටාර් සංචාරයට සහභාගි විය.


අදහස් (0)

සිවුකොන් තරගාවලිය කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.