Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සාෆ් පාපන්දු අවසන් මහ තරගය අද

සාෆ් පාපන්දු අවසන් මහ තරගය අද

editorial - 2023 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වෙන 14 වැනි දකුණු ආසියානු (සාෆ්) පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය අද (4 වැනිදා) රාත්‍රි 7.30 ට ඉන්දියාව සහ කුවේටය අතර පැවැත්වේ. මෙවර අවසන් මහ තරගයට සුදුස්සන් නිර්දේශවීමේදී විශේෂත්වයක් ගන්නේ පළමු වතාවට තරගාවලියට ආරාධනා ලැබූ කලාපයෙන් පිටත්තර රාජ්‍යයක් වන කුවේටය ඒ සඳහා ප්‍රවේශය ලබා ගැනීමයි. 

සත්කාරක ඉන්දියාව ගියවරද (2021) ඇතුළුව මෙම තරගාවලිය අට වතාවක් ජය ගෙන තිබේ.  අද තරගය ජය ගැනීම කුවේටය සමත් වන්නේ නම් සාෆ් පාපන්දු කුසලාන කලාපයෙන් පිටස්තර රාජ්‍යයක් විසින් එය දිනා ගන්නා පළමු අවස්ථාව ලෙස එය තරග ඉතිහාසයට එක්වේ.

අතිරේක කාලයේදී (107 වැනි විනාඩියේදී) ලබාගත් ගෝලයකින් කුවේටය මෙම අවසන් තරගයට නිර්දේශ වූයේ බංගලදේශය පරාජයට (1-0) පත් කරමිනි. ආරාධිත කණ්ඩායමක් වූ ලෙබනනය දඬුවම් පහර 4-2 කට පරාජය කරමින් අනෙක් පසින් සත්කාරක ඉන්දියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ලෝක පාපන්දු (පිරිමි) කණ්ඩායම් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 100 වැනි ස්ථානයට ඉන්දියාව පත්ව සිටිද්දී අද ඔවුන්ගේ ප්‍රතිවාදියා බවට පත්ව සිටින ක්වේටය එහි 141 වැනි ස්ථානයේ පසුවේ. ආසියානු පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව 18 වැනි ස්ථානයෙත් ක්වේටය 26 වැනි ස්ථානයෙත් පසුවේ.

මෙම තරගාවලිය ආරම්භයේ සිට (1993) සිට සහභාගි වූ ශ්‍රී ලංකාවට පසුගිය ජනවාරි 21 වැනිදා සිට පනවා තිබෙන ජාත්‍යන්තර පාපන්දු තහනම හමුවේ මෙවර තරගාවලිය අහිමි විය. එවකට සාග් රන් කුසලාන ලෙස හැඳින්වූ මෙම තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත් එකම අවස්ථාව වන්නේ 1995 දීය. 

මූලික වටයේදී එකම කාණ්ඩායකින් ක්‍රීඩා කර සම ප්‍රසාද ලකුණුලාභීන් බවට පත්වූ කණ්ඩායම් දෙකක් මෙවර අවසන් මහ තරගයට තේරී සිටීම කැපී පෙනේ. එහිදී මෙම දෙපිල මුණගැසුණු අවස්ථාවේදී තරගය ගෝල 1-1 කට සම වී තිබේ. එහිදී කුවේටයට ගෝලය හිමිව ඇත්තේ ඉන්දීය ක්‍රීඩක අන්වර් අලි අත්වැරදීමකින් සිය දැල තුළටම එල්ල කළ (ඕන් ගෝල්) පහරකිනි.

එතෙක් පැවති තරග අතරින් ප්‍රේක්ෂකයන් වැඩිම පිරිසක් නැරඹූ තරගය බවට පත්ව ඇත්තේ ඉන්දියාව හා පාකිස්ථානය අතර තරගයයි. බැංගලෝර් ශ්‍රී කාන්ති රාධා ක්‍රීඩාංගණයට එය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් 22,860ක් පැමිණ තිබේ. එම තරගය ඉන්දියාව ගෝල 4-0කට ජයගෙන තිබේ. 

ඉන්දීය කණ්ඩායමේ නායක සුනිල් මෙට්රි මේ දක්වා තරගාවලියේ ගෝල පහක් රැස්කර තිබේ. 38 හැවිරිදි මෙම ක්‍රීඩකයා මේ දක්වා අන්තර්ජාතික පාපන්දු තරග 141කට සහභාගි වෙමින් ගෝල 92ක් රැස්කර තිබේ.

මේ වන විට ක්‍රියාකාරීව සිටින පාපන්දු ක්‍රීඩකයන් අතර ඔහුගේ තරග සහභාගිත්වය හා ගෝල රැස්කිරීම් දෙවැනි වන්නේ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ආජන්ටිනාවේ ලයනල් මෙසීට පමණි.


අදහස් (0)

සාෆ් පාපන්දු අවසන් මහ තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.