Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාවේ පාපන්දුවට කෝටි 65ක්

ශ්‍රී ලංකාවේ පාපන්දුවට කෝටි 65ක්

editorial - 2023 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

උදාවන 2024 සඳහා ශ්‍රී ලංකාවට අන්තර් ජාතික පාපන්දු සම්මේලනයෙන් හා ආසියානු පාපන්දු සමුළුවෙන් ඩොලර් මිලියන දෙකක ප්‍රතිපාදන පිරිනැමෙනු ඇතැයි වාර්තා වේ. එයින් ඩොලර් ලක්ෂ හයකට වැඩි මුදලක් ලබන මාර්තු වන විට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.

ඩොලර් මිලියන දෙකක මුදලක් යනු අද ශ්‍රී ලංකාවේ  රුපිය​ෙල්  වටිනාකමින් රුපියල් කෝටි 65කට වැඩි අගයක් ගනියි.

පසුගිය ජනවාරි 21 වැනිදා සිට බලපැවැත්වුණු ශ්‍රී ලංකාAවේ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉකුත් අගෝස්තු 28 වැනිදා ඉවත් කිරීමට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය කටයුතු කළේය.

එම තහනම හමුවේ රඳවා ගත් අරමුදල් ද ඒ අනුව ශ්‍රී ලංකාවට නිදහස් කෙරේ. ශ්‍රී ලංකාවේ පාපන්දු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම අරමුදල් පිළිගැන්වෙන්නේ අන්තර් ජාතික පාපන්දු සම්මේලනයෙන් හා ආසියානු පාපන්දු සමුළුවට වාර්ෂිකව සිය සාමාජික රටවලට ලබාදෙන ප්‍රතිපාදන යටතේය.

‘ලංකාදීප’ය කළ විමසුමක දී පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවසුවේ එළඹෙන වසරේ ප්‍රධානතම ඉලක්කය වන්නේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට හිමිකම් ලැබෙන අන්තර් ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීම බවයි.

ඒ සඳහා ප්‍රදේශ කිහිපයක ඇති ඉඩම් කට්ටි තුනක් මේ වන විට නිරීක්ෂණය කර ඇති බවත් ඔහු එහිදී පැවසීය.

කෙසේ වෙතත් පසුගිය 2022 ඔක්තෝබර් මාසයේ සිට අත්හිටුවා ඇති දේශීය පාපන්දු තරගමාලා ආරම්භ කිරීම ලබන මැයි මාසය දක්වා පමා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය තීරණය කර තිබේ.

ඒ ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා කාලයක් ගත වන බැවිනි. අන්තර් පළාත් තරගාවලිය හා ශූරයන්ගේ තරගාවලිය ඇතූළු තවත් දේශීය තරගාවලි කීපයක්ම ලබන මැයි මාසයේ සිට පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය අපේක්ෂා කරයි.

අන්තර් පළාත් තරගාවලියට කණ්ඩායම් 10ක් හා ශූරයන්ගේ තරගාවලියට කණ්ඩායම් 17ක් එක්වන අතර මෙම ප්‍රධානතම දේශීය තරගමාලා සඳහා සහභාගි වන සියලු කණ්ඩායම් වෙත ක්‍රීඩකයන් හා පුහුණුකරුවන්ට වෙන වෙනමත් ගෙවීම් ලබා දීමට නියමිතය.

ඒ අතර අන්තර් ජාතික පාපන්දු තරග අවම හතරකටත් මෙරටදී සිවු ජාතීන්ගේ ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය පැවැත්වීමටත් පාපන්දු සම්මේලනය අපේක්ෂාවෙන් පසුවේ.

ලබන මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාව අන්තර් ජාතික පාපන්දු තරග සඳහා සහභාගිවීමට සැලසුම් කර ඇත. එහිදී සෑම ජාත්‍යන්තර තරග සහභාගිත්වයට අවම දින 16ක් තිබිය දී ජාතික පාපන්දු සංචිතය නේවාසික ගත කිරීමට පියවර ගැනේ.

පසුගිය සැප්තැම්බර් 29 වැනිදා පැවැති නිලවරණයේ දී ඉදිරි සිවු වසරක පාලන කාලයක් සඳහා ජස්වර් උමාර් මහතාගේ සහභාගිත්වයෙන් යුත් නව පාපන්දු විධායක සභාව වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

මේ අතර ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම් ප්‍රධාන උපදේශක ස්කොට්ලන්ත ජාතික අැන්ඩි මොරිසන් මහතාගේ සේවය ලබන සැප්තැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමටත් ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ඉකුත් දා කටයුතු කළේය.

ඔහුගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාව පළමුවරට ජාත්‍යන්තර තරගයකට සහභාගි වූයේ ඉකුත් ඔක්තෝබර් 12 වැනිදාය. යේමනය සමග සෞදි අරාබියේ ’අබා’ නුවර දී පැවති ලෝක කුසලාන (2026) පූර්ව සුදුසුකම් තරග වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 3-0 ක පරාජයක් ලැබීය.

එහෙත් දෙපිල අතර දෙවනුව කොළඹදී පැවැති තරගය ගෝල 1-1 කට සම කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. එය සැලකිල්ලට ගනිමින් මොරිසන් මහතාට සේවා දිගුවක් ලබාදීමට පියවර ගත් බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවසයි.

ශ්‍රී ලංකාව මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 204 වැනි ස්ථානයේ පසුවේ. ඉකුත් දෙසැම්බර් 15 වැනිදා සිදු කළ ලෝක පාපන්දු කාන්තා අලුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව රටවල් 192කින් 157 වැනි ස්ථානයේ පසුවේ.

මෙරට කඩා වැටී ඇති කාන්තා පාපන්දු කීඩාව නැංවීම සඳහා අලුත් ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් දියත් කරන බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.


අදහස් (0)

ශ්‍රී ලංකාවේ පාපන්දුවට කෝටි 65ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.