Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාව අවසන් තරගයට

ශ්‍රී ලංකාව අවසන් තරගයට

editorial - 2021 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බංග්ලාදේශය  ගෝල 2-1 කට අද (16) රාත්‍රියේ පරාජයට පත් කළ ශ්‍රී ලංකාව ‘මහින්ද රාජපක්ෂ’ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ 19 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා සුදුසුකම් තහවුරු කර ගත්තේය. එය ශ්‍රී ලංකාව වසර 2006 න් පසු අන්තර් ජාතික පාපන්දු තරගාවලියක අවසන් මහ තරගයට නිර්දේශ ලබා ගත් පළමු අවස්ථාවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව හා  ෂිසෙල්ස් රාජ්‍යය අතර අවසන් මහ තරගය සිකුරාදා (19 වැනිදා) රාත්‍රි 8ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රිඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

අද තරගයේදීත් ශ්‍රී ලංකාවේ  ගැලවුම්කරුවා වූ අහමඩ් වසීම් රසීක් ගෝල දෙකම වාර්තා කරමින් දෙවැනි වතාවටත් තරගයේ වීරයාට සම්මාන ලැබීය. 25 වැනි විනාඩියේදී පළමු ගෝලයද හා 90+1 වැනි විනාඩියේදී දඬුවම් පහරක් නිවැරදි එල්ලයටම යොමු කරමින් දෙවැනි ගෝලයද වාර්තා කළ අහමඩ්  වසීම් රසික් තරගාවලියේ වාර්තා කළ හයවැනි ගෝලය මෙයයි.

මෙම වසරේදී ඔහු ලබාගත් ජාත්‍යන්තර තරග හත්වැනි ගෝලය ලෙසත් එය වාර්තා පොතට එක්වේ. ඔහුගේ මෙම විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍ය හමුවේ මේ වන විට ඔහුට පාපන්දු ක්‍රීඩාවේ දියුණුතම මැද පෙරදිග රටකින් ක්‍රීඩා කිරීමට ආරාධනා ලැබී ඇති බවද වාර්තා වේ.

කෙසේ වුවත් බංග්ලාදේශය අද තරගයේදී වඩාත්ම අවාසනාවන්ත තත්ත්වයකට පත්වූයේ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීම තුළින් වුවද ඔවුන්ට අවසන් මහ තරගයට ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිව තිබූ බැවිනි.

71 වැනි විනාඩියේදී පිරිනැමුණු දඬුවම් පහරක්  ශ්‍රී ලංකා දැල් රකින්නා වන නායක සුජාන්  පෙරේරා අභිබවමින් ලබා ගත්තේ අතිරේක ක්‍රීඩකයකු ලෙසින් පසුව පිටියට පිවිසි ජුවෙල් රානා විසිනි.

ඔක්තෝබර් 01 වැනිදා මාලේ නුවරදී ශ්‍රී ලංකාව 13 වැනි  සාෆ් ශූරතා තරගාලියේදී ගෝල 1-0 කට බංග්ලාදේශයට  පරාජය වීමෙන් පසුව දෙරට ජාත්‍යන්තර පාපන්දු තරගයකදී ළඟ ළඟම මුණගැසුණු දෙවැනි අවස්ථාවත් මෙයයි.

ශ්‍රී ලංකාව වසර 2018 න් පසු අන්තර් ජාතික පාපන්දු තරගයක් ජයගත් පළමු අවස්ථාව මෙය වන අතර එහිදීත් ශ්‍රී ලංකාවට පරාජය වූයේ බංග්ලාදේශය වීම කැපී පෙනේ.

අද පස්වරුවේ පැවැති ෂිසෙල්ස් - මාලදිවයින තරගය නිලකුණු තත්ත්වයක් මැද අවසන්වීමෙන් ෂිසෙල්ස් අවසන් මහ තරගයට අනෙක් පසින් වැඩිම ප්‍රසාද ලකුණු මත නිර්දේශ විය.

 

(ඡායාරූප - ගයාන් අමරසේකර)

 


අදහස් (0)

ශ්‍රී ලංකාව අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.